Thursday, January 23, 2025

අල්ලස් නඩු රැසක් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව හෙළිවේ

අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරු තිදෙනාගේ පූර්ව අනුමැතියකින් තොරව පසුගිය කාලයේ ගොනු කළ නඩු 45ක් පමණ ඉල්ලා අස්කර ගැනීමට එම කොමිසමේ නව පාලනාධිකාරිය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ජනාධිපතිනීතිඥවරයකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.

අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එම දැනුම් දීම සිදුකළේය.

ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කිරීම තිබෙන “අනෝමා පොල්වත්ත” නඩු තීන්දුව මඟින් අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගේ පූර්ණ අනුමැතියකින් තොරව නඩු පැවරීම නීති විරෝධී බවට තීන්දු කර ඇතැයි සඳහන් කළේය. 

එම නඩු තීන්දුව අනුව යමින් අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ පූර්ණ අනුමැතිය නොමැතිව පසුගිය කාලයේ පැවරූ නඩු ඉල්ලා අස්කර ගැනීමට එහි නව සභාපතිවරිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනා තීරණය කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඒ යටතේ ඉකුත් කාලයේ පැවරූ අල්ලස් නඩු 45ක් පමණ ඉල්ලා අස්කර ගැනීමට නියමිත බවද ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය සඳහන් කළේ, වර්තමානයේ අධිකරණය පවතින එම නඩුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවය.

ඒ අනුව නඩුව නැවත ජුනි මස 4 වනදා කැඳවීමට  නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා එදින නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද? යන්න පිළිබඳව අධිකරණයට දැනුම් දෙන්නැයි අල්ලස් කොමිසමේ නීතිඥවරිය නියෝග කළේය.

ලක්සල ආයතනයට අයත් වෙළෙඳ කුටියක් ඉදිකිරීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට එහි හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ එම නඩුව ගොනු කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles