Sunday, September 22, 2024

අලුත්වැඩියාවට කියා මහ වැවක් නැසූ හැටි….!

වැව් ගම්මාන වල ජනතාව ජීවත් වන්නේ අහස් දියෙන්.. අහස් දිය වැව් වල එක් රැස් කරල තමයි ඒ අය තමුන්ගේ කෘෂිකාර්මික ජීවනෝපාය සරිකරගන්නෙ.. එහෙම වැවක් අලුත්වැඩියා කරන මුවාවෙන් වෙච්චි අපරාධයක් ගැන CIA වෙත වාර්තා වෙනවා. ඒ දඹුල්ලෙන්..

අවුඩංගාව ගම්මානයේ මහවැව නම් වැවෙහි රොන්මඩ ඉවත් කර ධාරිතාව වැඩිකරගැනීමට ඉල්ලා ගම්වාසීන් ඉල්ලීම් කර ඇත්තේ එක් වතාවක් නොවේ.. කිහිප වතාවකි. ඒ අනුව යමින් ගොවිජන සේවා දේපාර්තමේන්තුව විසින් මෙම අලුත්වැඩියාව සඳහා ලක්ෂ 120ක මුදලක් අනුමත වී ඇති බව දන්වා එවා තිබුණා. එනම් හාරා අලුත්වැඩියාව සඳහාය. මෙම වැවෙහි අලුත්වැඩියාවන් සඳහා කොන්ත්‍රාත්තු බාර දී තිබුණේ විශ්‍රාමික තාක්ෂණික නිලධාරියෙක් වන ජයසේකර නම් තැනැත්තෙකුටය. මාතලේ ගොවිජන සේවා කොමසාරිස් වෙත බලතල ඇත්තේ ලක්ෂ 90 දක්වා වූ ව්‍යාපෘති සඳහා පමණි. නමුත් මේ අය සිදුකර ඇත්තේ අනුමත ලක්ෂ 120ට, ලක්ෂ 90කට සැලසුම් සාදා ඉදිරිපත් කිරීමටයි. ඒ අනුව මෙය සිදුකිරීමට පළමුව සිදුකර ඇත්තේ වැවේ වතුර ඉවත් කිරීමයි.

ඒ අනුව යමින් මුල් පස්පිඩැල්ල කැපීම සඳහා ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ප්‍රමුඛ පිරිසක් උත්සවාකාරයෙන් කටයුතු ආරම්භ කළ අතර එහිදී වැව හාරනු වෙනුවට පස්පිරවූ ලොරි කිහිපයක් පැමිණ වැව් බැම්ම මත පිටින් පස් ගෙනවිත් පිරවීම ආරම්භ කර තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා විධිමත් BOQ එකක් නොතිබූ අතර මේවා කුමන පස්ද? මොන අනුමැතිය යටතේ වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කරන්නේද? ඊට මෙම ක්‍රමවේද සුදුසුද යන්න කිසිවක් සොයාබලා තිබුණේ නැත. වැව් බැම්මට පස් දැමීමට ලක්ෂ 60ක් සහ ලක්ෂ 30 පිටවානේ සුළු අලුත්වැඩියාවන් වෙනුවෙනි. එමෙන්ම ඉල්ලීම වන්නේ රළපනාව අලුත්වැඩියා කර දීම සහ වැව හාරා දීම පමණි. නමුත් කරන්න යන්නේ වෙනත් දෙයකි!

කොන්ත්‍රාත්කරු පවසන්නේ ලක්ෂ 90න් කර හැක්කේ වැව්බැම්මට පස් දැමීම පමණක් සහ පිටවානේ අලුත්වැඩියාවන් පමණක් බවයි. වැව හෑරීමට එම මුදල ප්‍රමාණවත් නැති බව යි. එමෙන්ම පස් ප්‍රමාණය කොපමණදවත් ඔහු පවසන්නේ නැත. පසුව ඔහු පැවසුවේ අනුමතව ඇත්තේ ලක්ෂ 20ක්පමණක් බවත් එයින් කළ හැකි දේ කරන බවත් එසේ නොවන්නේ නම් මේ වැව අත්හැර දමා වෙනතක් යමක් සිදුකරන බවයි. මේ සම්බන්ධව ගමේ විහාරාධිපති ඇස්වත්තේ උදිත ස්වාමීන්වහන්සේ මූලිකව ඉල්ලා ඇත්තේ විස්තරාත්මකව කරන්න යන දේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසයි. නමුත් එයට ප්‍රතිචාර ලෙස වැවේ වැඩ අත්හැර දමන බවට තර්ජනාත්මකව පවසා ඇත.

මේවන විට වැවේ ජලය ඉවත් කර ඇත. ඒ නිසා ගොවීන් අසරණය. ඊටත් වඩා මෙය මහා අපරාධයකි. මහජනමුදල් මෙසේ ගසාකමින් ජනතාවට වංචා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. මේ ගැන ගොවිජන සේවා කොමසාරිස් සහ බලධාරීන් දක්වන ප්‍රතිචාරය කුමක්ද?

ජනතාවට කුඹුරු කරන්න තබා කිසිම දේකට වතුර නැත!
මේ අපරාධයට වගකිව යුත්තේ කවුද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles