Friday, January 10, 2025

අලුත් අවුරුද්දට සහන රැසක් සමගින් නව අයවැයක් ගේන්න බැසිල් සූදානම්

නව අයවැයක් ඉදිරිපත් කිරීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සර්ව පාක්ෂික සමුළුවේදී සඳහන් කළා.

එය සිංහල/දෙමළ අලුත් අවුරුද්දට පෙර මහජනතාව සඳහා ලබා දෙන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) පැවති සර්ව පාක්ෂික සමුළුවට පවසා තිබුණා.

මෙහිදී දැනට ඉදිරිපත් කර ඇති අනවශ්‍ය වැය ශීර්ෂ කපා දැමිය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පැවසුවේ සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ගෙන ආ යුතු බවයි.

එම අදහස්වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා පැවසුවෙි පවතින අර්බුදකාරී තත්ත්වයට අනුකුල වන පරිද්දෙන් සුදුසු යෝජනා ඇතුළත් නව අයවැයක් ලබන මාසය තුළදී ගෙන ඒමට තමන් සූදානම් බවයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවත් ඇමති මණ්ඩලය අනුමත කරන්නේ නම් නව අයවැයක් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා ජනතාවට විශාල සහනයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා, ඒ සහනයත් එක්ක ඒ නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමතිවරයා ලෙස මම එකඟයි, අපේ අමාත්‍ය මණ්ඩලය එකඟ නම්.“

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා රටේ ජනතාව විඳින දුක්ඛදායක තත්ත්වය පිළිබඳව රජයට අවබෝධයක් තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී ජනතාවට සහන ලබා දීමේ වැඩපිළවෙළක් තමන් සතු බවද පැවසීය. විශේෂයෙන් සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී එම සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පවතින බවත් මේ වනවිටත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට අදාල වැඩපිලිවෙළක් සකසමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

එසේම බැසිල් රාජපක්ෂ මහතා මෙහිචී සඳහන් කළේ මේ වනවිටත් පවතින අර්බුදය හමුවේ රජය ගත යුතු ක්‍රියාමාර්ග පිළබඳව විවිධ පාර්ශ්ව විසින් විවිධ යොජනා ගෙන එනු ලැබ ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ කටයුතු සහ ඉදිරි ණය ප්‍රතිව්‍යූහගත කිරීම් වැඩ කටයුතු සඳහා සුදුසු මූල්‍ය උපදේශකයකු පිළිබඳව අවධානය යොමු කළ බවද මේ සඳහා සුදුසකම් සහිත පුද්ගලයන් රට තුළ සොයා ගත නොහැකි බවද ඔහු සර්ව පාක්ෂික සමුළුව හමුවේ දන්වා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles