Saturday, September 21, 2024

අවුරැදු 15 කට යුගදනවි ඇමරිකාවට දුන්නා.ඒකෙ හංගන්න දෙයක් නෑ. දුන්නෙ පහසු වෙලාවක – ගාමිණී ලොකුගේ

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.


ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ සමාගම වෙත මෙම අයිතිය ලබාදෙන්නේ ඇයිදැයි විමසූ විට අමාත්‍යවරයා පවසා සිටියේ ‘ඒ සමාගම ඒක කරන්න පුළුවන් ශක්තිමත් සමාගමක්’ බවයි.
මැදියම් රාත්‍රියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ලොකුගේ අමාත්‍යවරයාගේ අදහස වන්නේ රජයකට ගිවිසුමක් අත්සන් කරන්න තීන්දු කළවිට එය අත්සන් කරන්නේද නැද්ද යන්නත් කොයි වේලාවේද යන්නත් අදාළ දෙපාර්ෂවයේ තීරණයක් බවයි. එය එම දෙපාර්ශවයට පහසු මොහොතක සිදුකරන බවයි.
“ඒක කොයි වෙලේ අත්සන් කරනවද නැද්ද නැහැ. දෙගොල්ලන්ට පහසු වෙලාවක තමයි අත්සන් කරන්නේ. මේක අපි නොදැන නෙමෙයි කළේ. කැබිනට් පත්‍රිකා ගෙනල්ලා, අපිට ඒ පිළිබඳව දැනුවත් කරලා, අපේ එකඟතත්වයෙන් තමයි අපි ඒක කරන්න අවසර දුන්නේ. මේ ගැන සුළු පක්ෂ කැබිනට් මණ්ඩලයේදී දැන් කරන චෝදනාව ඉදිරිපත් කරලා නැහැ. හැම බඩුවකටම ලෝක වෙළඳ පොළේ මිලක් තියෙනවා. ඒ මිලට වැඩියෙන් යන්න බැහැනේ. මෙතෙන්දී ඒකාධිකාරියක් හිමි උනාට හැම දේකටම ලෝකේ සම්මත මිලක් තියෙනවා. රජයේ අවසරයක් ගන්නේ නැතුව මුකුත් කරන්න බැහැ. ස්වාභාවික ගෑස් කියන එක පොඩි කටයුත්තක් නෙමෙයි. එහෙම සමාගමක් මෙහෙ ඇවිල්ලා ගෑස් ටැංකි දැම්මොත් අපිට ඒකෙන් ගන්න එක තමයි ලාභ. ඉතින් අපි ගිවිසුමට ඇතුල් කරලා තියෙනවා තව බලාගාරයක් ඇති කළොත් අනිවාර්යයෙන් අපිට ගෑස් සපයන්න ඕනේ කියලා. මෙච්චර වාසියක් තියෙද්දී වෘත්තීය සමිති, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විරෝධයක් දක්වන්නේ ඇයි කියන එක අපිටත් ප්‍රශ්නයක්. අපේ මැතිවරණ ප්‍රකාශනය කියවලා බලන්න. බොහෝම පැහැදිලිව අපි කියලා තියෙනවා රජයේ සහ පුද්ගලික අංශයේ එකාබද්ධව වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා කියලා. ඒක මැතිවරණයට කලින් ඉඳලා අපි කිව්වා. අපි හැබැයි විදුලි බල මණ්ඩලය සම්පුර්ණයෙන් විකුණලා දාන්නේ නැහැ. අපිට ඩොලර් හිඟයක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයිනේ. අපිට ඩොලර් ලැබෙනවා නං අපි ඒ ගැන තවත් සැලකිලිමත්ව බලන්න ඕනේ”යැයි අමාත්‍යවරයා කීය.
ඔහු පැවසුවේ එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සැඟවීමට දෙයක් නොමැති බවයි.


තවදුරටත් ඔහු පවසන ආකාරයට එම ගිවිසුම වසර 15ක් සඳහා බල පැවැත්වේ.
“අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ” යනුවෙන් අමාත්‍යවරයා මාධ්‍ය කළ විමසීමේදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles