Friday, September 20, 2024

ආටිගල මහත්තයා පාර්ලිමේන්තුවටත් වඩා ලොක්කෙක්ද ? – අනුර

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් පැවරීම සහ වසර 05 ක කාලයක් සඳහා LNG සැපයීමේ ඒකාධිකාරය පවරමින් ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම සමග අත්සන් කළ ගිවිසුම පමණක් නොව, අදාල සමාගම තෝරා ගැනීමද අන්ත දූෂිත බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

විදුලිබල අමාත්‍යවරයාගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ගබඩා පර්යන්තයක් හා නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා ‍ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබූ අතර ඒ සඳහා සමාගම් දෙකක් ඉදිරිපත්ව සිටි බව අනුර දිසානායක මහතා පවසනවා. කෙසේ නමුත් අදාල ටෙන්ඩර් ඇගයීම් කරමින් සිටියදී ටෙන්ඩර් ඉදිරිපත් නොකළ නිව් ෆෝට්‍රස් සමාගමට අදාල ඉදිකිරීම් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා, ටෙන්ඩර් ඉදිරිපත් කර, ටෙන්ඩර් ඉදිරිපත් නොකළ සමාගමකට අදාල ව්‍යාපෘතිය පැවරීම සිදුවූයේ කෙසේදැයි විමසා සිටිනවා.

ඊට ප්‍රතිචාර ලෙස, ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ සමාගම්වලට වඩා නිව් ෆෝට්‍රස් සමාගමේ මිල ගණන් අඩු බව ආණ්ඩුව පවසා තිබෙන බවත්, ටෙන්ඩර් විවෘත නොකර එම ටෙන්ඩර්වල තිබෙන මිල ගණන් දැන ගත්තේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ‍මේ අනුව රටේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම කිසිදු තේරුමක් නැති, පට්ටපල් බොරු ක්‍රමවේදයක් බව ආණ්ඩුව විසින් ඔප්පු කර ඇති බවද ඔහු පවසයි.

ගබඩා පර්යන්තයක් හා නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා පමණක් ටෙන්ඩර් කැඳවා, ඊට අමතරව LNG සැපයීමේ ඒකාධිකාරය සහ යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් පැවරීමට තීරණය කළේ කෙසේදැයි අනුර දිසානායක මහතා විමසා සිටිනවා.

මෙම ගිවිසුමෙන් ඇමරිකානු සමාගමට සිදු කරන පැවරීම්වල සැබෑ වටිනාකම කොපමණදැයි හෙලිදරව් කළයුතු බවද දිසානායක මහතා පවසනවා. තමා දැනුවත් පරිදි මෙම ව්‍යාපෘතියේ තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 05 ක් බවත් ඒ අනුව මෙය මෙරට ඉතිහාසයේ විශාලතම ව්‍යාපෘතිය බවත් ඔහු පෙන්වා දෙනවා.

එවැනි ඉතා විශාල වටිනාකමක් සහිත ව්‍යාපෘතියක් ජනතාවටද නොදන්වා, පාර්ලිමේන්තුවටද නොදන්වා, කැබිනට් මණ්ඩලයද ප්‍රමාණවත් පරිදි දැනුවත් නොකර, මැදියම් රැයේදී අත්සන් කළ ගිවිසුමක් හරහා පවරා ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles