Friday, January 24, 2025

ආණ්ඩුවට රට පාලනය කරන්න දර්ශනයක්, වැඩපිළිවෙලක් නෑ. රට දැවැන්ත අර්බුධයක – එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන

වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා  මේ වනවිට රට දැවැන්ත අර්බුධයකට තල්ලු වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කිරිවලින් රට ස්වයංපෝෂිත කරන බව ප්‍රකාශකර තිබුණත් වසර 2500 ක බෞද්ධ ඉතිහාසයක් තිබෙන මේ රට කිසිසේත් කිරිවලින් ස්වයංපෝෂිත කළ නොහැකි බව හෙතෙම පෙන්වාදුන්නේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, අක්මීමන සහ හබරාදූව මැතිවරණ කොට්ඨාශවල නායකයින් දැනුවත් කිරීම සහ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ආරම්භ කිරීම නිමිත්තෙන්, ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (10) පැවැති විශේෂ රැස්වීමකදීය.

මෙම රැස්වීමට ඉහත කොට්ඨාශ නියෝජනය කරමින් ඒවායෙහි එජාප නායකයින් හා ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූ අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

අද දවසේ අපි ශ්‍රී ලංකාව පුරා සියලුම වෝර්ඩ්ස් අනුව ඒ කියන්නේ පළාත් පාලන ආයතනයේ තියෙන වෝර්ඩ්ස් අනුව මුළු ලංකාව පුරා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංනවිධානය කිරීමේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා.

ඒ අනුව අද දවසේ ගාල්ලත්, අක්මීමනත්, හබරාදුවෙත් ඒ වැඩකටයුතු ආරම්භ කරනවා. ඒ වැඩසටහනේ කරුණු පැහැදිළි කිරීම තමයි අද දවසේ අපේ ප්‍රධාන අරමුණ. ඒ් අතරේ විශේෂයෙන් මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි රටේ ආර්ථිකය බරපතල විදියට කඩාවැටිමකට ලක්වෙලා තිබෙනවා. ඒ ගැන විවිධ අදහස් මේ වනවිට ප්‍රකාශ වෙමින් තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කය ගත්තොත් තේ කර්මාන්තය මේ කතා කරන අවස්ථාවේ පවා බරපතල ඛේදවාචකයකයට මුහුණ පා තිබෙනවා. මේ සිදුවෙලා තියෙන අලාභය නැවත යථාතත්ත්වයට ගන්න වසර ඒකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව නැවත මේවා කප්පාදු කරලා නියමිත පරිදි පොහොර යොදලා දළු කඩන්න පුලුවන් තත්ත්වයකට ගෙනඑන්න ඒ කාලය වැය වෙනවා. ඒ නිසා තමයි රජය මේ තීන්දුව ගත් අවස්ථාවෙ ඉඳලා මේ ස්ථානයේ ඉඳන් මම විවිධ අවස්ථාවල ප්‍රකාශ කළේ රජය අනිවාරයෙන්ම රසායනික පොහොර ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුයි කියලා.

රසායිනික පොහොර නොමිලේ ලබාදෙන බවටත්, එම පොහොර 350 ට ලබාදෙන බවටත් පසුගිය කාලවල බලය ලබාගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂ ජනතාවට පොරොන්දු වුණා. එලෙස පොහොර ලබාදෙනවා නම් ඒවා නිසි ප්‍රමිතියකට අනුව ලබාදිය නොහැකියි. එලෙස දිය හැක්කේ තත්ත්වයෙන් බාල වර්ගයේ පොහොර හෝ කල් ඉකුත් වූ පොහොරයි.

ලෝකයේ තත්ත්වයෙන් උසස් පොහොර නොමිලේ හෝ රුපියල් 350 ක් වැනි අඩු මුදලකට ලබාදෙන්නත් බැහැ,. නමුත් ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණින් දේශපාලඥනයෝ ජනතාවට ලබාදුන් පොරොන්දු වලට අනුව බාලපොහොර වර්ග යෙදීමෙන් සම්පූර්ණයෙන්ම අපේ පස විනාශ වෙලා තිබෙන්නේ. එමනිසා අපේ මහජනතාව, ගොවි ජනතාව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. මොකද එක පාර්ශවයක් කියනකොට රුපියල් 350 ට පොහොර දෙනවා කියලා, අනිත් පාර්ශවය කියනවා නොමිලේ දෙනවා කියලා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ.

ඒක හරියට ජනාධිපතිවරණයේදී වතු ජනතාවට රුපියල් 1000 ක් දෙනවා කියලා එක වේදිකාවක කියනකොට අපේ වේදිකාවේ කියනවා 1500 ක් දෙනවා කියලා. මෙලෙස මේවා අම්මා තාත්තගෙන් හෝ ගෙදරින් ගෙනත් දෙන්න බැහැ. දෙන්න ඕන මහජනතාවගේම මුදල් වලින්. ඉතින් ඒ නිසා තමයි මේ බොරුව සමාජයේ අවසන් කළ යුතුව තිබෙන්නේ.

එමෙන්ම අද රට පුරා ඇතිවෙලා තිබෙන කිරි පිටි පෝලිං, ගෑස් පෝලිං, තෙල් පෝලිං. මම අහගෙන හිටියා මගේ මිත්‍ර තෙල් ඇමතිතුමා කියනවා, සාමාන්‍යයෙන් දින 90 කට තෙල් තියෙන්න ඕන. නමුත් දැන් තිබෙන තෙල් ප්‍රමාණය දින 10 ටත් අඩුයි. ඉතාම අවාසනාවන්ත තැනකට රට පත් කරලා තිබෙනවා.

මේ තත්ත්වය නිසා තමයි අපි දිගින් දිගටම මේ කාරණා කිව්වේ. ඉතින් අද මහජනතාවට අවබෝධ වී තිබෙනවා වසර 4 1/2 ක් එක්සත් ජාතික පක්ෂය කුමක්ද කළේ කියලා. මේ රටේ ජනතාවට ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවරයක තබාගෙන සියළු දෙනාට ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ඇති කරලා තිබුනා. දැන් එය මහජනතාව අවබෝධ කරගනිමින් සිටිනවා.

මං දැක්කා ඊයේ පුවත්පතක සඳහන් කරලා තිබුණා මේ රට කිරි පිටි වලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඉස්සරවෙලා මේ රටේ ආගමික පරිසරය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතව තිබෙනවා. මේ රට කවදාවත් මම දන්න විදියට කිරි පිටි වලින් ස්වයංපෝෂිත කරන්න බැහැ. ඒක නිකන් විහිලු කතාවක් විතරයි. දැනට රටේ සිටින සියලුම කිරි ගවයින් ගත්තත් 15%  වඩා කිරි සැපයීම ශ්‍රී ලංකාවට කරන්න බැරි වෙලා තියෙනවා.

අවුරුදු 2500 ක ඉතිහාසය තුළ බෞද්ධ සංස්කෘතියේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි හරක් මැරීම බුදු දහම අනුව බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ ආණ්ඩුව කිව්වා හරක් මරන්නෙ නැහැ තහනම් කරනවා කියලා. මරනවද නැද්ද කියන එක නෙමේ මෙතන තිබෙන ප්‍රශ්නය. රටට අවශ්‍ය කරන කිරි ලීටර් ප්‍රමාණය ලබා ගන්න කිරි ගවයින් ලක්ෂ 10 ක් ඕන කරනවා. කිරි ගවයෙක් උපරිම ජීවත් වෙන්නේ අවුරුදු 14 ක් 15 ක් වැනි කාලයක්. පස් වතාවක් 6 වතාවක් පැටව් ලබා දුන්නම ශ්‍රී ලංකාවේ ජනගහනයට වඩා වැඩි වෙනවා කිරි හරක් ප්‍රමාණය. ඒ නිසා තමයි ලෝකයේ කිරි හරක් නිෂ්පාදනය කරන රටවල්, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වෙන්න පුලුවන්. කිරි වලින් 50%ක් ආදායම ලබා ගන්නවා. ඉතුරු 50% මස් වලින් ලබා ගන්නවා.

කිරි හරක් ඇති කරන රටවල කිසිම වෙලාවක පැටියෙක් දකින්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. පැටියා ඉපදිලා පැය 24 ක් යන්න කලින් මස් සඳහා භාවිතා කරනවා. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මෙය දන්නවා නම් කිරි පිටි බොන්නෙ නැහැ.

ඒ රටවල් කිරිවලින් සියයට 50 ක් ආදායම් ලබාගනිද්දී සියයට 50 ක් ආදායම මස් වලින් ලබාගන්නවා. එම සතුන්ගේ හම් යොදාගෙන හදන පර්ස් එක, සපත්තුව මිල අධිකයි.  ඒ නිසා ශ්‍රී ලංකාව කවදාවත් කිරි වලින් ස්වයංපෝෂිත කරන්න බැහැ. අවුරුදු 2500 ක බෞද්ධ ඉතිහාසයක් තිබෙන රටේ මෙය කිසිසේත් ඉටු කළ නොහැක්කක් බව කිව යුතුයි.

ඒ නිසා ඒවා පිළිබඳව නිසි අවබෝධයකින් එක්සත් ජාතික පක්ෂය හැමවිටම කටයුතු කර තිබෙනවා. නමුත් රට කිරි වලන් ස්වයංපෝෂිත කරනවා කියලා ඇතැම් අයට විහිලු කතා සැපයිය හැකියි.

ඒ වගේම අද මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධව බරපතල ගැටලුවක් ඇති වී තියෙනවා. මේ තත්ත්වය මේ ආකාරයට ගමන් කළහොත් ලබන වසරේ මැද භාගය වනවිට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන ලබාගැනීමටවත් නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා. වී ගොවිතැන සහ සහල් සම්බන්ධව ගනු ලැබූ මෝඩ තීන්දු තීරණ නිසා රට මෙවැනි අවධානමකට පත්ව තිබෙනවා.

කිරි පිටි සහ අනෙකුත් භාණ්ඩවල පාලන මිල ඉවත්කිරීම සඳහා ගැසට්ටුවක් නිකුත් කරන බව ප්‍රකාශකර තිබුණා. මේ සම්බන්ධව රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති නම් පාලන මිළ ඉවත් නොකළොත් සමාගම් බංකොළොත් විය හැකියි. ඇතැම් සමාගම් එක මාසයකට කෝටි 30, 40ක පාඩුවක් ලබනවා. එවිට එවැනි සමාගම් ලංකාවෙන් ඉවත් වෙනවා. මේ තත්ත්වය නිසා ළමයින්ට පවා කිරි පිටි ලැබෙන්නේ නැති තත්ත්වයක් උද්ගත වෙනවා. මේ අනුව කිරිපිටි නැතිව ළමයින්ට අඬන සමාජයක් හදලා දුන්නේ මේ පාලකයෝයි. මෙම තත්ත්වය මහජනතාව කල්පනාවෙන් තේරුම්ගත යුතුයි.

මේ තියෙන තත්ත්වය මීටත් වඩා බරපතල වෙනවා මිසක් මෙය වෙනස් වෙන්නෙ නෑ. අපි අවුරුද්දක් තිස්සේ කිව්වා රසායනික පොහොර වහාම ගෙන්විය යුතුයි කියලා. නමුත් එය කිසිසේත් ගණන් ගත්තේ නැහැ. නමුත් මට දැනගන්න ලැබුනා ගිය සතියේ තේ වලට රසායනික පොහොර ගෙන්වනවා කියලා. එතකොට තේ වලට රසායනික පොහොර ගෙන්වනවා කිව්වත් මේ පොහොර රටට ලැබෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු මාසයේ විතර. ලෝකයේ නැව් ගමනාගමනය අඩු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. මේ පොහොර සඳහා අදාල ඩොලර් මෙහෙන් නිකුත් කලාට පස්සේ, එහෙම නැතිනම් ඒ අදාල ලියකියවිලි ඉදිරිපත් කළාට පස්සේ ප්‍රවාහනය කරලා ආපහු ගොවිපලට යන්න තව මාස 4 ක් 5 ක් පමණ ගතවෙනවා.

රට මෙවැනි තත්ත්වයකට පත් කරලා  සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබෙනවා. ඒ ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ සඳහා විසඳුම් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරලා තිබෙනවා. අපි නුදුරේදිම ඒ සඳහා මජනතාවගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අවශ්‍යතාවය සඳහා ගත යුතු පියවර එක්සත් ජාතික පක්ෂය ගන්නා බව කියලා පැහැදිළිව මතක් කරන්න කැමතියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles