Saturday, September 21, 2024

ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට තර්ජනයක් – විමල්,උදය ඇතළු පිරිස ගැන වහාම පියවරක් ගන්න – පොහොටිටු⁣වෙ මහ ලේකමි

කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

එම පිරිසේ ක්‍රියා කලාපය සහ හැසිරීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බරපතල තර්ජනයක් හා ගැටලුවක් හෙයින් මෙලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුමක් තවමත් අත්සන් කර නැති හෙයින් ඒ පිළිබඳව කිසිසේත්ම කලබල නොවන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී මෙම පිරිස මේ ආකාරයට ආණ්ඩුව පදනම් විරහිතව විවේචනය කරමින් කටයුතු කිරීම ඉතා පහත් කැත වැඩක් බව පැවසූ ලේකම්වරයා මෙය කිසියම් බාහිර කුමන්ත්‍රණයක් අනුව සිදුවන්නක් බවට බොහෝ දෙනෙකුට සැක මතුවී ඇතැයිද පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තවම ඇත්තේ මූලික එකඟතාවක් පමණක් හෙයින් ගිවිසුම සකස් කිරීමට පෙර සියලු පක්ෂවල නිර්දේශ ඉදිරිපත් කරන්නැයිද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බව පැවසූ සාගර කාරියවසම් මහතා ඒ ආකාරයට සද්භාවයෙන් සහ නම්‍යශීලීව කටයුතු කරන අවස්ථාවක මේ පිරිසේ හැසිරීම පිළිගත නොහැකි බවද සඳහන් කළේය.

මේ අය මෙලෙස කටයුතු කරන්නේ කාගේ වුවමනාවට දැයි බරපතළ ප්‍රශ්නයක් සහ සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා කීවේය.

එසේම මෙම ගිවිසුම අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවටද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී ස්ථිරසාර ලෙස පැවසුවේ යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles