Sunday, September 22, 2024

ආණ්ඩුව ජාත්‍යන්තරය දිනාගනිමින් සිටිනවා

මිනිස්බල සමාගම් හරහා විදුලි බල මණ්ඩලයට අනුයුක්තකර සිටි තුන්දහසකට අධික සේවකයන්ව ස්ථිර සේවයේ පිහිටුවීම වත්මන් ආණ්ඩුව කිසිදු වැඩක් සිදු නොකරනවා යයි ප්‍රකාශ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හොඳ පිළිතුරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ මිනිස්බල සමාගම් හරහා විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සිටි විදුලිබල සේවකයන් 2594 දෙනකුට සහ මනු කියවන්නන් 1234ක් ස්ථිර සේවයේ පිහිටුවීම සඳහා පැවැති උත්සවය අමතමිණි. එය ඊයේ( 18) කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ අවුරුදු දෙකකට කලින් ඡන්දය තබා ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාට කිරීමට නොහැකිව තිබූ ජාත්‍යන්තරය දිනා ගැනීම බව ද ජනාධිපතිවරයා කීය.

අපි කරන්නෙ ඇඟට දැනෙන දේවල් නොවෙන්න පුළුවන්. බඩට නොදැනෙන දේවල් වෙන්න පුළුවන්. සාක්කුවට නොදැනෙන දේවල් වෙන්න පුළුවන්. ගුණාත්මක දේශපාලන සංකල්පයක් තුළයි අප කටයුතු කරන්නෙ. අවුරුදු දෙකක් මොකවත් කළේ නැහැයි කියන පුද්ගලයන්ගෙන් මම අහන්නෙ ඔවුන් බලයට පත් වෙලා පළමු අවුරුදු දෙක තුළ කළේ කුමක්ද කියා සිහිපත් කරන ලෙසයි. 2005-2007 දක්වා කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳ සිහිපත් කරන්න කියා කියනවා. එදා එජාප මන්ත්‍රීවරු අරගෙන තනතුරු ලබා දුන්නා. ඒ ඉතිහාසය මට මතකයි. ලෝකයේ ඕනෑම ආණ්ඩුවක් පළමු අවුරුදු දෙකේ විවේචනවලට ලක් වෙනවා. අන්තර් ජාතික වශයෙන් පසුගිය ආණ්ඩුවට දිනා ගැනීමට නොහැකි වූ රටවල් ජාත්‍යන්තර සංවිධාන අප දිනා ගෙන තිබෙනවා. පසුගියදා රුසියන්, චීන, ඉන්දියන් ආදි රටවල නායකයන් සමඟ ඉතා සුහදව සාකච්ඡා කළ බව ද ජනාධිපතිවරයා කීය.

මෙහිදි අදහස් දක්වමින් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, නැවතත් මිනිස්බල සමාගම් හරහා විදුලි බල මණ්ඩලයට සේවකයන් බඳවා නොගන්නා බවයි. ඉදිරියේ දී බුරුමයේ විදුලි බල ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකාව මැදිහත්වන බව ද කීය. නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා මෙහි දී පැවසූයේ මින් ඉදිරියට මනු කියවන්නන් හඳුන්වන්නේ පාරිභෝගික සම්බන්ධීකාරක නමින් බවයි. පසුගිය කාලය තුළ නිවාස ලක්ෂ දෙකකට අලුතෙන් විදුලිය සපයා ඇති බව ද කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles