තමා කිසිවිටෙකත් ආණ්ඩුව හැර දමා නොයන නමුත් ආණ්ඩුව තමා අත්හැර යයි ද පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව විමල් වීරවංශ මහතා පවසයි.
අද (19) කොළඹ දී මාධ්‍යවේදීන් විසින් “ආණ්ඩුවේ ඔබ තුමාට ඉන්න පුළුවන් වෙයි ද ? “ යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කිසිවෙකු කලබලයට පත්ව නිගමනයන්ට එළඹිය යුතු නැතැයි ද පැවසු අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව නිරෝගීව ඉදිරියට ගෙන යෑම තම බලාපොරොත්තුව බව ද පැවසීය.
ඒ සඳහා ඇති ව තිබෙන යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තුරන් කර ගනිමින් රටේ ජනතාව අපේක්ෂා කරන ඔවුන් ලබාදුන් ජනවරම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බව ද විමල් වීරවංශ මහතා කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා,
ප්රශ්නය – ඔබ තුමා තවදුරටත් ඉවසන එක ද කරන්නේ?
විමල් වීරවංශ – ඇයි මම ඉවසන්න එපා ද?
ප්රශ්නය – ඔබ තුමාට පහරදෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරු නේද ?
විමල් වීරවංශ – මම නම් ඒ මන්ත්‍රීවරුන්ට දොස් කියන්නේ නෑ. ඒ මන්ත්‍රීවරුන්ට කවුරු හරි ඒක පවරනවා ඇති නේ. ඒ පවරන එකෙනා තමයි ඒ මන්ත්‍රීවරු අසරණ කරලා තියෙන්නේ.
ප්රශ්නය – ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම ද ඒකට හේතුව ?
විමල් වීරවංශ – බොහෝවිට.
ප්රශ්නය – ඔබ තුමා රටේ ජාතික සම්පත් වෙනුවෙන් දිගටම හඬ නඟනවා ද?
විමල් වීරවංශ – ඒක ඉතින් මම දේශපාලනය පටන්ගත්ත දිනයේ සිට අද දක්වා කරන දෙයක්.
ප්රශ්නය – ආණ්ඩුවේ දිගටම ඉන්න පුළුවන් වෙයි ද?
විමල් වීරවංශ – මම ආණ්ඩුව දාලා යන්නේ නෑ… මාව ආණ්ඩුව දාලා යයි ද දන්නේ නෑ