Sunday, September 22, 2024

ආණ්ඩුව හොඳටම ෆේල් ඒක පෙර පාසල් දරුවොත් දන්නවා

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින්ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුවේම සිටින ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකයා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී එළියට පැමිණ ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කරන ලෙසයි.

මේ ආණ්ඩුව පැමිණි දා සිටම ජනතාව කළේ කැපකිරීම් බවත් ඒ වෙනුවට ආණ්ඩුව ජනතාවට දුන් ත්‍යාග වූයේ හතළිස් වසරකට පසු පෝලිම් යුගයක් බිහි කොට ජනතාව පෝලිමේ තැබීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. ජනතාව අප්‍රමාණ දුක් වේදනා උහුලමින් කෙළවරක් නැති කැපකිරීම් කරන අතරේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලන ඉල්ලන සියල්ල ලබාදීමට ජනතාව කටයුතු කළ බවද පැවසීය. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉන් අනතුරුව මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඊටත් පසු විසි වැනි සංශෝධනයෙන් බලය වැඩි කර ගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩකඩ ලබා දුන් බවත්, ඒ සියල්ලට අද ආණ්ඩුව ජනතාවට සලකන ආකාරය දෛවයේ සරදමක් බවට පත්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

බඩු මිල වැඩි කිරීමෙන් ගිනස් වාර්තාවක් ආණ්ඩුව තබා ඇති බව පැවසූ විපක්ෂ නායකයා, රටේ දේශීය සම්පත් විකිණීමෙන්ද ආණ්ඩුව වාර්තා පිට වාර්තා තබා ඇතැයි පෙන්වා දෙනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතාගේ තිස්සමහාරාම ආසනයේ හම්බන්තොට කොට්ඨාශ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප්  වෙදආරච්චි, හිටපු පළාත් සභා  මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ, ඇතුලු පිරිසක් ඊට එක්විය.

අද වන විට ලංකාව බලවත් රටවල පොර පිටියක් බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකයා, ආණ්ඩුව එක රටකට බටහිරත්, තව රටකට නැගෙනහිරත්, තවත් රටකට උතුරත්, තවත් රටකට දකුණත් තරගයට මෙන් අලෙවි කරමින් සිටින බවද පැවසීය.

ගුරු විදුහල්පති වර්ජනය දෙස වෛරයෙන් බලන ආණ්ඩුව, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය අනතුරේ හෙළා ඇති බවත් ආණ්ඩුවම ගෙන ආ සුබෝධනී වැටුප් කොමිසමට පයින් ගසන තත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. මේ තුළින් මේ රටේ හතළිස් ලක්ෂයකට වැඩි දරුවන්ගේ අනාගතය සහ වර්තමානය සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටින බවත්  එය කිසිසේත්ම මේ රටේ ගුරු පරම්පරාවේ වරදක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles