ආබාධිත රණවිරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සිදුව ඇතැයි කියන පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන බවත් වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමු කැර ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කෙළේය.
ආබාධිත රණවිරුවන්ට පහරදීම වැරැද්දක් වනවා සේම මෙම රණවිරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදුන් පසු මෙවැනි ප්‍රශ්න ඇති කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දැරීමත් වරදක් බවද අගමැතිවරයා සඳහන් කෙළේය. එහෙත් පසුගියදා ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සොයා බලන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා අද ( 12) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවත් පැවසීය.
ආබාධික රණවිරුවන්ගේ විශ්‍රාම ගැටලුවට ආරක්ෂක අමාත්‍යාංශ්‍යය නිසි විසඳුම් ලබාදීමෙන් පසුව මෙම සිද්ධිය ඇතිවීම හා සංඝයා වහන්සේලා මීට සම්බන්ධවීම සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
මෙවැනි සිද්ධීන් වෙනුවෙන් පෙනී සිටියද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කළ අවස්ථාවේ කිසිවකු නොසිටි බවත් මාදුළුවාවේ සෝභිත හිමියන් දළඳා මාළිගාව ඉදිරිපිට ආගමික උත්සවයක් සිදු කරන විට මල්වතු පාර්ශ්වය දෙකට කරන බවට තර්ජනය කළ බවත් අගමැතිවරයා සිහිපත් කෙළේය.
මේ අවස්ථාවේ නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ දුටු ගැමුණු රජු යුද්ධය කළ අවස්ථාවේදීත් මහා සංඝයා වහන්සේ ආශිර්වාද කළ බවයි.
එයට පිළිතුරු දුන් අගමැතිවරයා සඳහන් කෙළේ දුටු ගැමුණු රජතුමා යුද්ධ කැර මාගම සිංහාසනය අයිති කරගත් බවට ඉතිහාසයේ සඳහන් නොවන බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා 23/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.