Sunday, October 20, 2024

ආර්ථිකය හදන හැටි මහ බැංකු අධිපති කියයි

ගෝලීය වසංගතය ඇතුළු අර්බුද හමුවේ රටේ මූල්‍ය ස්ථාවරභාවය ආරක්‍ෂා කිරීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්‍ෂ්මන් මහතා පවසනවා.

2021 වසර හා ඉදිරියට මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

“අප අනාගතය පිළිබද ධනාත්මකව සිතිය යුතුයි. කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එල්ල වුණා. පුද්ගලයන්, පවුල් හා ව්‍යාපාරවලට සහන සැලසීමට රජයට සහ මහ බැංකුවට කටයුතු කරන්නට සිදුවුණා. මුදල් තත්ත්වය ලිහිල් කිරීමට හා ණය පොළී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ විරූ ක්‍රියාමාර්ග ගත්තා.

2021 වසර සදහා අයවැය ඔස්සේ රජය නැවුම් ප්‍රවේශයක් හදුන්වා දී තිබෙනවා. එමගින් ආර්ථිකය මුහුණ දී ඇති අභියෝගවලට නිශ්චිත උපාය මාර්ගයක් සහිතව පිළිතුරු ලබාදීමට පුළුවන්. ණය වගකීම් නිසි කලට පියවීමට රජයට හැකිවුණා. අඩු පොලී අනුපාතික මත අඩු පිරිවැය ණය පහසුකම් ව්‍යාපාරික ප්‍රජාවට ලබා දීමෙන් තිරසර ආර්ථික වර්ධනයක් අප අපේක්‍ෂා කරනවා. නව ව්‍යාපාර සහ කර්මාන්ත සදහා දිරි ගැන්වීමක් ලබා දෙනවා.

ඩිජිටල් ගෙවීම් යාන්ත්‍රණ මහජනතාවට හදුන්වා දීම සදහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ලංකා කිව් ආර් මුළු රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති එවැනි එක් වැඩසටහනක්. ඩිජිටල් ගෙවීම් වේදිකා භාවිත කිරීම ඉතා ප්‍රයෝජනවත් බව වසංගතයක්ව පැවති කාලයේදි අපට මනාව වැටහුණා. ජාතික සංවර්ධන බැංකු සංස්ථාවක් පිහිටුවීම සදහා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධ කරමිනුයි එය පිහිටුවීමට සැලසුම් කර ඇත්තේ. මෙරට සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් එමගින් බිහිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස මෙරට මූල්‍ය අංශයට ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇති බව ද අපගේ විශ්වාසයයි. වරාය නගරයේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ආවරණය වන පරිදි විශේෂ නීති සම්පාදනය කරමින් ජාතික මූල්‍ය අංශ නියාමන රාමුව ශක්තිමත් කිරීමට ද නියමිතයි. විදේශ අංශයේ වර්ධනයන් පවත්වා ගැනීමට ඇතැම් ප්‍රාග්ධන ගෙවීම් අත්හිටුවීම් සදහා නිකුත් කර ඇති නියෝගයේ වලංගු කාලය ද තවත් මාස 6 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. සියලුම මූල්‍ය ආයතන ආවරණය කෙරෙන පරිදි නව මූල්‍ය පාරිභෝගික ආරක්‍ෂණ පනතක් හදුන්වා දීමට ද අප කටයුතු කරනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles