Saturday, September 21, 2024

ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනපතිගේ එකඟත්වය

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බවයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

ඒ අනුව අදාළ සර්ව පාක්ෂික සමුළුව මේ මස අහභාගයේදී පැවැත්වෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සියලුම පක්ෂ නායකයන් හට ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සිදුකරමින් සිටින බවද දැනගන්නට ඇත.

ශී‍්‍රලනිප මන්තී‍්‍ර කණ්ඩායම කරුණු පහළොවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වූ අතර කරුණු දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා එහි ඇතැම් කරුණු වත්මන් ආණ්ඩුව දැනටමත් කි‍්‍රයාත්මක කර හෝ එම කටයුතුවලට ආරම්භයක් ගෙන ඇති බව දැනුම් දී තිබේ.

රට යහපත් තැනකට ගෙන ඒම සඳහා ආණ්ඩුව සෑම පියවරක්ම ගන්නා බවත් ආණ්ඩුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල අදහස් යෝජනා පිළිගෙන සාමූහිකව කටයුතු කිරීමට සෑම විටම කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම වර්තමානයේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත නැඹුරුවීම, වස විසෙන් තොර ආහාර පාන නිෂ්පාදනය සඳහා කාබනික පොහොරවලට යොමුවීම එලෙස සාමූහිකව ගත් සාධනීය පියවර බවද පෙන්වා දී තිබේ.

එනිසා ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව සියලූ දෙනා එකට එක්වී මේ කටයුතු කළයුතු බවද කියා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශී‍්‍රලනිප නායක, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු දහහතර දෙනාම සහභාගි වී සිටි අතර එහිදී එම මන්තී‍්‍රවරු ඒ ඒ අයගේ අදහස් පළකර ඇත.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් සාමූහික වගකීමට එරෙහිව කටයුතු කිරීම නිසා ඔවුන් ඇමැති ධුරවලින් ඉවත් කිරීමට සිදුවූ බවත් ඉකුත් කාලයේදී එම අමාත්‍යවරුන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකා බොහෝමයකට සංශෝධනය නොකර අනුමැතිය ලබා දුන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

සාර්ථක සර්ව පාක්ෂික සමුළුවක් යනු සාමාන්‍යයෙන් ජාතික ආණ්ඩුවක පළමු පියවරක් වශයෙන් සැලකිය හැකිය. ආණ්ඩුකරණයෙහි ස්වරූපය කවරක් වුවත් ජාතික එකඟතාවක් මත ආණ්ඩුකිරීමක් ඉන් අදහස් කෙරේ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා සිටින්නේ මෑත ඉතිහාසයේ නොවූ විරූ‍ ආර්ථික අර්බුදයකට බව නොරහසකි. එවන් අවස්ථාවක හෝ පක්ෂ භේද පසෙකලා රටක් වශයෙන් යම් දේශපාලන එකඟතාවකට පැමිණ ඊට මුහුණ දීමට නොහැකි නම් රටට අත්වන්නේ දැවැන්ත ඛේදවාචකයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රධාන පක්‍ෂයක් වන ශී‍්‍රලනිප මන්තී‍්‍ර කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවති අතර එය ඉතා සාර්ථකව නිම වූ බවද සාගර කාරියවසම් මහතා කීය.

ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ඇමැති දිනේෂ් ගුණවර්ධන හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් මහතා සහභාගි වී තිබේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි සභාපති හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරු වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අන්ගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සාරතී දුෂ්මන්ත, ශාන් විජයලාල් ද සිල්වා, චාමර සම්පත්, සුරේෂ් රාඝවන් යන දහහතර දෙනාම සහභාගි වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසුව ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු 14 දෙනා වෙනම සාකච්ඡාවකට එක්ව තිබේ.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

එහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල නොවිය යුතු බවයි මුදල් අමාත්‍යවරයා අවධාරනය කර ඇත්තේ

කෙසේ වෙතත් ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියඵ දෙනා මෙම සාකච්ඡාවට සහභාගී වු නමුත් පසුගියදා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති බව සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles