Sunday, September 22, 2024

ඇමතිවරු එපා කරවන්න විහිළු ඇමතිකම් හැදුවෙ බැසිල්….

වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කළ එකක් නොවන බවත්, එම ඇමතිධූර නිර්මාණය කිරීම හා ඒවාට ඇමතිවරුන් නම් කළේ බැසිල් රාජපක්‍ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජනතාව අතර විහිළුවට ලක්වූ මැටි, කුරුඳු ගම්මිරිස් මෙන්ම තමාට ලැබුණු බතික් ආදී රාජ්‍ය අමාත්‍යධූර නිර්මාණය කළේ ද බැසිල් රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

තමා සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් වැඩක් නොගෙන පැත්තකට කර තබා ඇත්තේත් ඔවුන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ ආණ්ඩුව පත්කළ කොටසක් නොවන තැනකට පත්කර ඇතැයි ද කීවේය.

ආණ්ඩුවට සියලු පක්ෂ එක්කර නොගෙන තනි ගමනක් යාම අපහසු බව ද පැවසීය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කුරුණෑගල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකට එක්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ගත්තා කියා පසුවදා උදේට සුරබිදෙන පහළ වන්නේ නැතැයි කී දයාසිරි ජයසේකර රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් රටවැසියන් දැනුවත් කළ යුතු බව ද කීවේය.

මේ වන විට රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා රටේ ඩොලර් හිඟයක් පවතින බවත්, 2025 වසර වෙද්දී ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 29ක් අවශ්‍ය බවත් පැවසීය.

මෙම ගැටලුව බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණි විට විසඳෙයි කියමින් නොසිට ජනතාවට ඇත්ත තත්වය කියා ආර්ථිකය ගොඩගන්න දායක වන්නේ කෙසේද යන්න ඔවුන්ට පැහැදිලි කළ යුතු බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

එමෙන්ම,

බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ඔහුට ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්‍ෂ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.
එහෙත් බැසිල් රාජපක්‍ෂ මහතාට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති බව දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී ඉකුත් සෙනසුරාදා පැවති විශේෂ සාකච්ඡාවේදීය.
එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වූහ.
සුහද පවුල් හමුවක් වූ මෙම කතාබහේ දී බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇතත් පැමිණෙන දිනය නිශ්චිතව සඳහන් කර නැත.
ඔහුට මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුත්තේ කවුද යන්න ගැන සිදුකළ සාකච්ඡාවේදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත.
කෙසේ හෝ බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සුදුසු මන්ත්‍රීවරයකු ඉවත් කරගැනීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටය.
එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු විය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles