විදුලිබල හා බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසිනුයි එම නියෝගය ලබාදුන්නේ.
ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සංචාර දෙකකට සහ ඇමෙරිකාවේ සහ ජර්මනියේ නිල සංචාර දෙකකට සහභාගීවීමට අවශ්‍ය බව පවසමින් තම සේවාදායකයාට පවරා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඔහුගේ නීතීඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා එම නියෝගය ලබාදුන්නා.
එසේම අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද තාවකාලිකව මුදා හදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.
ඒ අනුව ජනවාරි 23 වනදා සිට අප්‍රේල් 29 දක්වා වන කාලයකට විදේශගත වීම සඳහා ඔහුට අවසර ලබාදී තිබෙනවා.
බ්‍රයන් ෂැඩික් නැමැති ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස්, ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කොට විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.