කිසිඳු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වී සිටින පුද්ගලයින් වෙනුවෙන් ‘‘අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතික’’ (නුදුටු සහතිකය) නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව එසේ අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙත එම සහතික නිකුත් කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති. රජය පවසන්නේ අතුරුදන් වූ පුද්ගලයා සතු දේපළ සහ වත්කම් තාවකාලිකව කළමනාකරණය කිරීමට හා දරුවන් වෙනුවෙන් තාවකාලික භාරකාරීත්වයක් ලබාගැනීමට මෙමගින් හැකිවන බවයි.
සමාජ සුබසාධන වැඩසටහන් හරහා හිමිවන ප්රතිලාභ සඳහා අයදුම් කිරීමට මෙන්ම අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් අදාළ බලධාරීන් ඉදිරියේ එකී ඥාතියාට පෙනී සිටීමට ද මෙමගින් අවස්ථාව සැලසෙන බවයි රජය පැවසුවේ.