Thursday, December 26, 2024

ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුවා

බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් ආණ්ඩුවේ ඇති අස්ථාවරභාවයත් නොහැකියාව සහ දුර්වලතාවයත් මනාව පෙන්නුම් කළ බව අස්ගිරි පාර්ශ්වයේ ‍ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.
මහා සංඝරත්නයට කළ හැක්කේ යමක හොඳ නරක පෙන්වා දීම පමණක් බවද උන්වහන්සේ කීහ. ඉන්පසු ඒ පිළිබඳව මහා සංඝරත්නයට ලුහුබැඳ යාමක් කළ නොහැකි යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ. විජේදාස රාජපක්ෂ මහතාට බුදුදහම පිළිබඳව තිබෙන දැනුම සහ එතුමාගේ ක්‍රියා කලාපය දෙස බලා මහා සංඝරත්නය එතුමා ඇගයීම් කළ බවද උන්වහන්සේ කීහ.
නමුත් පාර්ලිමේන්තුව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හඬ ප්‍රබල වී තිබෙන නිසා පක්ෂනායකවරයාටත් එයට ඇහුම් කන් දීමට සිදුව ඇතැයි මැදගම ධම්මානන්ද හිමියෝ කීහ. එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ඉල්ලීමට ඇහුම්කන් දීමට ජනාධිපතිවරයාටත් සිදුවීමෙන් පෙනී යන්නේ රටේ දේශපාලන අස්ථාවරභාවයයි.
විජේදාස රාජපක්ෂ මහතා බරපතළ වරදක් කර ඇති බවක් පෙනෙන්නට නැති බවත් රටට සිදුවන විපතක් පෙන්වාදීම වරදක් නොවන බවත් එතුමා නීතිමය කටයුතු ප්‍රමාද කරනවා කියා චෝදනා කළ නොහැකි බවත් මන්ත්‍රීවරුන් සතුටු කිරීමට නීතියට ඇඟිලි ගැසීම යහපාලනය නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
රජයක් ලෙස පවතින පක්ෂ දෙකේම අතිවිශාල අර්බුද පවතින බව මින් පෙනෙන බවත් රජයේ ඇති නොහැකියාවන් සහ දුර්වලතා පවතින බව මෙම සිදුවීමෙන් මනාව ඔප්පු වූ බවත් ‍ලේඛකාධිකාරී හිමියෝ පැවැසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles