Sunday, September 22, 2024

ඇමැතීන් 10කගේ කෝටි 1000ක වංචා සොයද්දී දූෂණ ලේකම් කාර්යාලය වහන්න හදනවා

අගමැතිවරයා යටතේ ඇති දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දමන්නේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් දස දෙනකුට අධික පිරිසකගේ රුපියල් කෝටි දහසක්‌ පමණ වටිනා වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනය කරමින් සිටින මොහොතකදී බව ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කර සිටී.

මෝදර ධීවර වරාය මාසික තක්‌සේරු මුදල රුපියල් ලක්‌ෂ දාහතක්‌ව තිබියදී රුපියල් එක්‌ලක්‌ෂ විසිපන්දහසක මාසික කුලියට බ්‍රිතාන්‍ය සමාගමකට අවුරුදු විසිපහක කාලයකට පවරා දීමෙන් රුපියල් කෝටි හතළිස්‌ හතක්‌ රජයට පාඩු කිරීමේ පැමිණිල්ල දූෂණ මර්දන ලේකම් කාර්යාලය හමුවේ පවතින බව කී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගිං ගඟ, නිල්වලා යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 297 ක්‌ වැය කළද මෙතෙක්‌ එහි එක්‌ පස්‌ පිඩැල්ලක්‌ හෝ නොකැපීම සම්බන්ධව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහි පැමිණිල්ලක්‌ද විමර්ශනය කෙරෙමින් තිබෙන බව කීවේය.

වී අලෙවි මණ්‌ඩලයට රුපියල් කෝටි 400 ක්‌ පමණ පාඩු කරමින් වී තොග අලෙවි කිරීම සම්බන්ධව වර්තමාන විෂය භාර ඇමැතිවරයාට එරෙහි පැමිණිල්ලක්‌ද සුඛෝපභෝගි වාහන 211 ක්‌ අඩුවෙන් තක්‌සේරු කරමින් මුදා හැරීම පිළිබඳ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි පැමිණිල්ලක්‌ද, දූෂණ මර්දන ලේකම් කාර්යාලය විසින් විමර්ශනය කරමින් සිටින බව විජිත හේරත් මහතා කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක්‌ සඳහා පරිත්‍යාග කළ නිවසක පෞරාණික ගෘහ භාණ්‌ඩ අතුරුදන්වීම පිළිබඳ හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති, එස්‌. බී. දිසානායක මහතාට එරෙහිවද, පාසල්වලට කම්කරු පත්වීම් ලබාදීම පිළිබඳ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට එරෙහිවද, තෙල් සංස්‌ථාවේ මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධව අනුර ප්‍රියදර්ශන යාපා මහතාට එරෙහිවද දූෂණ මර්දන ලේකම් කාර්යාලය විසින් මූලික විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව කී විජිත හේරත් මහතා නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා ලෙස මෑතකදී පත්කළ රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව දූෂණ පිළිබඳ චෝදනාද, ලංකා ට්‍රාන්ස්‌ෙµdaමස්‌ සමාගමේ රුපියල් කෝටි තුනක්‌ දේශපාලන වැඩකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ පැමිණිල්ලක්‌ද විමර්ශනය කරමින් සිටින බව කීවේය.

දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් සිදුවූ සේවයක්‌ නැතැයි ජනාධිපතිවරයාත්, රාජිත සේනාරත්න මහතාත් කළ සාවද්‍ය ප්‍රකාශ මාධ්‍ය ඔස්‌සේ අනාවරණය වූ බව කී විජිත හේරත් මහතා මේ වන විට ලේකම් කාර්යාලය සඳහා රුපියල් කෝටි 40 ක්‌ වියදම් කර ඇතත් සිදුවූ දෙයක්‌ නැතැයි යනුවෙන්ද ප්‍රකාශයක්‌ කර ඇතැයි කීවේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ මෙම ලේකම් කාර්යාලයේ සත්‍ය වියදම තමන් ලබා ගත් බවද ඒ අනුව මේ දක්‌වා ඒ වැයකර ඇත්තේ කෝටි 40 ක්‌, නොව තුන්කෝටි විසි ලක්‌ෂයක්‌ පමණක්‌ බවද කී විජිත හේරත් මහතා දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දමා වංචාකරුවන් සහ හොරු රැකගැනීමට ආණ්‌ඩුව අසත්‍ය ප්‍රකාශ කරන බවද කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles