Sunday, September 22, 2024

ඇවන්ගාඩ් වංචාව යටගහනවා-ජවිපෙ

ඇවන්ගාඩ් ආයතනයේ මූල්‍ය වංචාවන් සඳහා චෝදනා ලැබූ චූදිතයින් ආරක්‍ෂක හමුදා නිලධාරීන් පළිහක් කරගනිමින් හොරකමෙන් බේරෙන්ට උත්සහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ජනාධිපතිවරයා කළ යුතුව තිබෙන්නේ ආරක්‍ෂක හමුදාව පලිහක් කරගනිමින් හොරු ආරක්ෂා කිරීමට විරුද්ධව කටයුතු කරීම උවත් කළේ ඊට හාත්පසම විරුද්ධ දේ යැයිද හෙතෙම පැවසූයේ අද (16දා) පෙරවරුවේ, පැලවත්ත-බත්තරමුල්ල පිහිටි ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය  “රාජපක්‍ෂ පාලනය තුළ ඉතාම බරපතල ලෙස රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මහා පරිමාණයෙන් අවභාවිත කළා. රාජපක්‍ෂ පවුලේ පෞද්ගලික පරිහරණය සඳහා ජනතාවගේ මුදල් යොදාගත්තා. ඒ බව පරීක්‍ෂණවලින් හෙළිරදරව් වෙමින් තිබෙනවා. මල්වානේ ඉඩම, මල්වානේ නිවස, සී.එස්.එන් නාළිකාවේ සිදුවීම හරහා හෙළිදරව් වෙමින් තිබෙන්නේ රාජපක්‍ෂලාගේ ජනතා මුදල් කොල්ලකෑම්.

රාජපක්‍ෂ පාලනයේ සිදුවූ තවත් බරපතළ වංචාවක් තමයි ඇවන්ගාඩ් සිදුවීම. ජනතා විමුක්ති පෙරමුණේ අපි දිගින් දිගටම මේ පිළිබඳව ප‍්‍රශ්න කළා. ඊට එරෙහිව පරීක්‍ෂණ කරන්න කියලා බලපෑම් කළා. වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකුත් ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී හිටියා. ඊට එරෙහිව එල්ල වුණු විරෝධය කොතරම්ද කියනවා නම් මේ ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා. එතරම් බරපතළ වංචාවක් තමයි, ඇවන්ගාඩ් කියන්නේ. ඊට එරෙහිව පරීක්‍ෂණ අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්.

මේ ආණ්ඩුවට ලැබුණු ජනවරමට ප‍්‍රධාන සාධකය වුණේ වංචා-දූෂණවලට එරෙහි වීමයි. එහි වගකීම ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇමති මණ්ඩලය ප‍්‍රමුඛ ආණ්ඩුවටත් සම්පූර්ණයෙන්ම පැවරෙනවා. නමුත් පරීක්‍ෂණ සඳහා ඇති කරපු ආයතන ස්වාධීන කොමිෂන් සභා ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ක්‍රියාවට නැගුනේ නැහැ. ඉබි ගමනේ තමයි පරීක්‍ෂණ සිදුවුණේ. ඒ නිසා විටින් විට ජනතාවගේ විරෝධයක් එල්ල වුණා. ඇවන්ගාඩ් සිදුවීම තවම අවසන් වෙලා නැහැ. රාජපක්‍ෂ පාලනය කාලය වගේම අලුත් ආණ්ඩුව පත්වූ පසුවත් ඇවන්ගාඩ් ගනුදෙනුවේ වංචාව දිගටම කෙරෙනවා. 2015 වර්ෂයේදී ඇවන්ගාඩ් ආයතනය මගින් රක්නා ලංකා ආයතනයට රුපියල් මිලියන 843ක් ගෙවිය යුතුව තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුව එයින් රුපියල් මිලියන 255ක මුදලක් කපා හැර තිබෙනවා. එම මුදල රජයට ලැබිය යුතු මුදලක්. එහෙම කපා දමන්නේ කොහොමද? එයින් පෙන්නුම් කරමින් තිබෙන්නේ රාජපක්‍ෂ පාලනය කාලය වගේම අදත් ඒ විදියටම වංචාව-දූෂණය සිදුවෙනවා කියන එකයි. ඇවන්ගාඩ් සිදුවීම පිටුපස ආරක්‍ෂක හමුදාවල නිලධාරීන් හිටියා. නාවික හමුදාපතිවරු, සෙබළුන්, ඇවන්ගාඩ් ආයතනයේ සේවකයින් ලෙස සේවය කළා. ඔවුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එසේ වියයුතු නැද්ද? අපේ රටේ නීතිය කාටත් සමානයි. අද ඇවන්ගාඩ් ආයතනයේ මූල්‍ය වංචාවලට චෝදනා ලැබූ චූදිතයින් ආරක්‍ෂක හමුදා නිලධාරීන් පළිහක් කරගෙන හොරකමෙන් බේරෙන්න හදනවා. ඒකාබද්ධ කල්ලියත් හමුදා සොල්දාදුවන් අත්අඩංගුවට ගන්නවා කියලා කෑ ගසමින් හොරකම් වහගන්න හදනවා. ජනාධිපතිවරයා කළ යුතුව තිබෙන්නේ ආරක්‍ෂක හමුදාව පළිහක් කරගෙන රාජපක්‍ෂ කල්ලිය හොරකම් වහගන්න හදන එකට එරෙහිව කටයුතු කිරීමයි. නමුත් ජනාධිපතිවරයා සිදුකළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles