ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රට වල ඇති වූ තත්ත්වයන් සමගම හටගත් ගෝලීය එන්නත් හිඟය නිසා එම එන්නත් ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය හට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති වන ප්‍රවණතාවයක් දක්නට ලැබුණා. මෙවැනි පසුබිමක ඇස්ට්‍රාසෙනෙකා පළමුවන මාත්‍රාව ලෙස ලබාගෙන දෙවැන්න සඳහා වෙනත් එන්නත් වර්ග භාවිතා කළ හැකිද සහ කොපමණ කාල පරාසයක් ඇතුළත දී දෙවන මාත්‍රාව ලබා දුනහොත් හොදම ප්‍රතිදේහ ජනනය සිදුවේ දැයි කියන කාරණා ගැන සඳහන් පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගිය සති කිහිපය ඇතුළත දී වාර්තා වුණා.
මේ සියලු පර්යේෂණ තවමත් පවතින්නේ ඉතාමත් මූලික අවස්ථාවල වුණත්, ඒවායින් දැනට ලැබෙමින් පවතින සාක්ෂි ඉතාමත්ම සුබදායී වෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මෑතක පළකල පර්යේෂණ වාර්තාවකට අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව හා දෙවන මාත්‍රාව අතර කාල සීමාව සති 45 දක්වා දිගු වුව ද සාර්ථකව ප්‍රතිශක්තීකරණයක් ඇති කරන බව දැක්වෙනවා. ලෝකය පුරා නොසිතූ ආකාරයට ඇති වූ එන්නත් හිඟයත් සමඟ දෙවන මාත්‍රාවේ ප්‍රමාදයන් ඇති වූ බොහෝ රටවලට මෙය සුභදායී ආරංචියක් වුණා. තවත් පර්යේෂණ මාලාවකින් මතුවෙමින් පවතින නිරීක්ෂණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් වැනි එම්.ආර්.එන්.ඒ එන්නතක් ලබාදීමෙන් සිදුවන ප්‍රතිශක්ති ජනනයයි.
තවම ව මූලික අවස්ථාවල පවතින ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා දෙකකින්ම පෙනී යන කාරණය වන්නේ මෙහිදී සිදුවන ප්‍රතිශක්ති ජනනය ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන්ම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශක්ති ජනනයට සමාන හෝ එයටද වඩා සාර්ථක විය හැකි බවයි. තවමත් ඉතා මූලික අවස්ථා වල පැවතියත් මේ පර්යේෂණ වලින් ලැබෙන සාක්ෂි ගෝලීය එන්නත් හිඟය නිසා දැඩි අපහසුතාවයකට පත් වී පවතින රටවලට අස්වැසිල්ලක් වෙනවා වගේම ලෝකයේම කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය නව දිශානතියකට යොමු කරවනු ඇතැයි සිතන්නට පුළුවන්.
-අදාල පර්යේෂණ පත්‍රිකා හා පළ කිරීම්:AstraZeneca පළමු මාත්‍රා හා දෙවන මාත්‍රාව අතර පැවතිය හැකි කාල සීමා පරාසය පිළිබඳ Oxford විශ්වවිද්‍යාලයේ පළ කිරීමhttps://www.ox.ac.uk/…/2021-06-28-delayed-second-dose…AstraZeneca පළමු මාත්‍රාවෙන් පසු වෙනත් එන්නත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබාදීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකා (මූලික අවස්ථාවේ)https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3874014https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3854768