Sunday, January 12, 2025

ඇසිඩ් නැව ගිනිගනී!

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, කොළඹ වරායට වයඹ දෙසින්  නාවික සැතපුම් 9.5ක දුරින් වූ මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබූ නෞකාවක ඊයේ (20) දහවල් එම ගින්න හටගෙන තිබූ බවය.

ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත නාවික හමුදාවේ ගැඹුරු මුහුදු නීරික්ෂණ යාත්‍රා දෙකක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් එම ප්‍රදේශය වෙත පිටත් කර හැරිමට පියවර ගෙන තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් ද ගින්න පාලනය කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචිකර ඇති “එක්ස්ප්‍රස් පර්ල්“ නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට කොළඹ වරායට පැමිණෙමින් තිබියදී එලෙස එහි ගින්නක් හටගෙන ඇති බව සඳහන් වේ.

නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බාහාලුම් 1486ක් සහිත අදාළ නෞකාවේ කාර්ය මණ්ඩල 25 දෙනෙකුගෙන් සමන්විත වන බව නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ පස්වරුවේ නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය පරීක්ෂා කර ඇති අතර නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමෙන් ගින්න හටගෙන ඇති බවට සැක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.
-adaderana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles