Saturday, September 21, 2024

‘ඉඟිනි ඇටේ’ බලේ මෙන්න

ඉඟිනි ඇට, අපේ රටේ භාවිත වූ දේශීය ඖෂධයකි. ඈත අතීතයේදී වැව් වටා ඉඟිනි ගස් වවනු ලැබුවේ ඉඟිනි ඇට වැවට වැටුණු විට වැව් ජලය පිරිසිදු වන නිසාය. අපේ මුතුන් මිත්තන් ළිං පිරිසිදු කිරීමේදී ඉඟිනි ඇට කීපයක් ජලයට දැමුවේ බොරවූ ජලය පිරිසිදු කර ගැනීමේ පරමාර්ථයෙනි. ඉඟිනි, නිර්මලී ලෙස හඳුන්වනු ලබන්නේ ස්වාභාවිකවම ජලය පිරිසිදු කරන නිසාය. 

අද වනවිට ශීඝ්‍රයෙන් සිදුවන කාර්මීකරණය සමඟ ජලය අපවිත්‍ර වීම ද ඉතා වේගයෙන් සිදු වේ. ජලයට බැරලෝහ එකතුවීමෙන් සිදුවන විනාශය සුළුපටු නැත. බැරලෝහ ඉතා අඩු සාන්ද්‍රණයක් ජලයට එකතු වූව ද එයින් සිදුවන හානිය විශාලය. වකුගඩු අකර්මණ්‍ය වීම, අඩු රුධිර පීඩනය, අස්ථි දුර්වල වීම, අංශබාගය වැනි ලෙඩරෝග ඇතිවීමට පවා බැරලෝහ හේතු කාරකයකි. පුරාණයේ සිට ජලය පවිත්‍ර කිරීමට යොදාගත් ඉඟිනි ඇට මගින් බැරලෝහ ඇතුළු අපවිත්‍ර කාරක පිරිසිදු කරන ආකාරය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කෙරෙන පරීක්ෂණයක් පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපට අසන්නට ලැබිණි. ඒ පිළිබඳව තොරතුරු විමසුවේ එය කාලීන වැදගත්කමකින් යුතු කරුණක් නිසාය.

මෙම පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට අයත් රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආසිරි පෙරේරාගේ අධීක්ෂණය යටතේ විද්‍යාවේදී උපාධිය (විශේෂ) හැදෑරූ කවිතා හර්ෂණී රණවීර විසිනි.

“අතීතයේ සිට ජලය පවිත්‍ර කිරීමට යොදා ගන්නා ඉඟිනි ඇට මගින් ජලය පිරිසිදු කරන ආකාරය ගැන විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීමයි මෙම පරීක්ෂණයේ අරමුණ වුණේ. මම මේ පරීක්ෂණය කළේ මගේ අවසන් වසරේ පරීක්ෂණයේ ව්‍යාපෘතිය හැටියටයි. මගේ පරීක්ෂණ කටයුතුවලදී මාව අධීක්ෂණය කළේ මහාචාර්ය ආසිරි පෙරේරා මහත්මිය. මෙම පරීක්ෂණය මම අවුරුද්දක් පුරා කළා.” යනුවෙන් සඳහන් කළේ කවිතා හර්ෂණී රණවිර ය.

ඈ සිදු කළ පරීක්ෂණයේදී ඉඟිනි ඇට සහ ඉඟිනි ඇට කුඩු වශයෙන් යොදා ගෙන තිබුණු අතර එයින් ජලයේ අඩංගු බැරලෝහ අයන අවශෝෂණය කරගන්නා ආකාරය වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයට භාජනය කර ඇත. මෙහිදී ජලයේ PH අගය, ජලයේ පවතින බැර‍ලෝහ සාන්ද්‍රණය හා උෂ්ණත්වය යන සාධක අඩු වැඩි වශයෙන් වෙනස් ලෙස යොදා ගනිමින් පරීක්ෂණය සිදු කෙරිණි. එනම් බැරලෝහ සාන්ද්‍රණය වැඩි ජලය පිරිසිදු කිරීමට ගතවන කාලය, බැරලෝහ සාන්ද්‍රණය අඩු ජලය පිරිසිදු කිරීමට ගතවන කාලය සහ අඩු උෂ්ණත්වයකදී අවශෝෂණ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය සහ වැඩි උෂ්ණත්වයකදී අවශෝෂණ ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය යනාදී වශයෙන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයට භාජනය විය. 

මෙම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අනුව ජලයේ පවතින බැරලෝහ අයන සාන්ද්‍රණයන් 20% – 70% අතර අවශෝෂණය කරගැනීමෙන් ජලය පිරිසිදු කිරීමේ හැකියාව පවතින බව හෙළි විය. මෙම හැකියාව වෙනස් වෙන්නේ ජලයේ අඩංගු බැරලෝහ සාන්ද්‍රණය, PH අගය, උෂ්ණත්වය වැනි සාධකවල වෙනස්වීම අනුවය. එමෙන්ම ඉඟිනි ඇටවල අඩංගු හයිඩ්‍රොසිල්, ඒමයිඩ් වැනි ක්‍රියාකාරී කාණ්ඩවලට ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාකාරිත්වය හෙවත් අපවිත්‍ර කාරක අවශෝෂණය කිරීමේ හැකියාව පවතින බව අනාවරණය කර ගත හැකි විය.

මීට පෙර මහාචාර්ය ආසිරි පෙරේරා විසින් ඉඟිනි ඇට යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණ‍යකදී ජලයේ බොර ගතිය 80% – 90% ක් වශයෙන් ද ජලයේ කඨිනත්වය 4% – 20% ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බව පරීක්ෂණ මගින් තහවුරු කර තිබේ. එමෙන් ම ඉඟිනි ඇට මගින් ජලයට කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් එක් නොවන බව ද සනාථ වී ඇත.

මේ අනුව මහාචාර්ය ආසිරි පෙරේරා සහ කවිතා හර්ෂණී රණවීර සිදු කළ පර්යේෂණවලින් ඉඟිනි ඇට සහ ඉඟිනි ඇට කුඩු ජලය පිරිසිදු කිරීම සඳහා යොදාගත හැකි සාර්ථක කාරකයක් බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. www.silumina.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles