Wednesday, September 25, 2024

ඉදිරියේදී පැය 04ක විදුලි කප්පාදුවක් ගැන විදුලිබල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඉදිරියේදී පැය 04 ක විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත්, එසේ වුවහොත් විදුලිබල මණ්ඩලය තවත් අර්බුදයට යන බවත් එම සංගමය පවසනවා.

ඒ අනුව දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත්, දින 22කට සරිලන දැවි තෙල් බවත් හෙතෙම සදහන් කරයි.

එබැවින් දින තුනකට පසු විදුලි ඉල්ලුම අඩුකර පද්ධතියේ සමබරතාව රැකගැනීම සඳහා දින තුනකට පසු විදුලි විසන්ධිකිරීමට අනිවාර්යයෙන් ම සිදුවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට සිදු වනු ඇති බවත් ඒය සිදු නොකරන්නේ නම් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලාශවල ජලය භාවිතා කිරීමේදී සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒම ජලය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, පානීය හා පාරිසරික අරමුණු සඳහා කලමණාකාරණය කරමින් පවතින නිසාය.

අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයන් සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු වීම හේතුවෙන් බිඳවැටීම්වලදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බවත් සංගමය තව දුරටත් පෙන්වා දෙයි.

ජල විදුලි උත්පාදන කටයුතු ද මේ වනවිට පහත වැටී ඇති අතර කෘෂිකාර්මික කටයුතු, පානීය ජල අවශ්‍යතා, පාරිසරික අරමුණු සඳහා ජලාශ සතු ජලය කළමනාකරණය කිරීමේදී විදුලි උත්පාදනය සඳහා යොදාගත හැකි ජල ප්‍රමාණය අවම වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ දැනට විදුලි නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ජල ප්‍රමාණය අඛණ්ඩව නිකුත් කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවයි.

මේ වනවිට ගල්අඟුරු භාවිතා කර විදුලිය නිෂ්පාදනයද අර්බුදයට ගොස් තිබේ. විටින් විට නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන බිඳවැටීම් මෙන්ම ගල්අඟුරු තොග සපයා ගැනීමේ අර්බුදයකටද විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටිනවා.

ජල විදුලි උත්පාදනය ද ඉතාමත් අවම මට්ටමක පැවතීම, නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන්වෙමින් යාම සහ ප්‍රමාණවත් තරම් තොග නොලැබීම මේ ගැටලුව තවත් උග්‍ර වීමට හේතු වී තිබේ. මෙවැනි අවස්ථාවක දී ශ්‍රී ලංකාවට විකල්ප බලශක්ති ප්‍රභවයන් ද නැති බව ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් ඩොලර් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් බරපතල විදුලි අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවන බව ද ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles