ඉන්දියාවට යන්න කලින්….

0
479

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු වුණා.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරි ආර්ථික සහ සමාජයීය අරමුණු ජය ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙරට ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳ එහිදී ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් දැනුවත් කර තිබෙනවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි මිත්‍ර රාජ්‍යය ලෙස ඉන්දීයාව ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහාය ද ජනාධිපතිවරයා එහිදී ඇඟයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ඉන්දීය නිල සංචාරයේ කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද හමු වී සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here