ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් යනුවෙන් හඳුන්වන දියර පොහොර වර්ගය කාබනික පොහොර නොව යූරියා අඩංගු රසායනික පොහොර වර්ගයක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
අදාල පොහොර රසායනිකද කාබනිකද යන්න පිළිබඳ විවාදාත්මක තත්වයක් මේ වනවිට ඇතිව තිබේ. මේ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කෘෂිකර්මය පිළිබඳ ක්‍රියාකාරී කමිටුව විසින් සිදුකළ සොයා බැලීමකදී හෙලි වී තිබෙන්නේ ඒවා රසායනික පොහොර මිස කාබනික පොහොර නොවන බවයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) කෘෂිකර්මය පිලිබඳ ක්‍රියාකාරී කමිටුව විසින් ඉදිරිපත් කරන, ඉන්දියාවෙන් ආනයනය කරන ලද නැනෝ-නයිට්‍රජන් පොහොර පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය විසින් මෑතක දී ඉන්දියාවේ Indian Farmers Fertilizer Cooperative Ltd. (IFFCO) නම් සමාගමෙන් දියරමය නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර මිලියන 3.1 ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇත. ඉන් පළමු තොගය වූ මිලි ලීටර් 500 නැනෝ නයිට්‍රජන් බෝතල් 90,000 ( ලීටර් 45,000) ක්, ගුවන් මඟින් 2021 ඔක්තෝබර් 19 දා දිවයිනට ලඟා විය. මෙම පොහොර සම්බන්ධව ජනමාධ්‍ය හරහා මේ වනවිට විවිධාකාර මතවාද ජනගත වෙමින් පවතින බැවින්, කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු වෘත්තීයවේදීන් සමුහයක් ලෙස දිවයිනේ කෘෂිකර්ම පීඨ සහ තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත වන, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA), කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව (Action Committee for Agriculture) නියෝජනය කරමින් මෙම ආනයනිත පොහොර සම්බන්ධව පවතින විද්‍යාත්මක කරුණු සහ අපගේ විශේෂඥ මතය මෙසේ ජනතාව හමුවේ තැබීමට බලාපොරොත්තු වෙමු.
IFFCO සමාගම මඟින් නිෂ්පාදනය කෙරෙන මෙම නැනෝ නයිට්‍රජන් යනු, යූරියා අඩංගු සංයෝගයකි. බහු අවයවික සංයෝග මඟින් යූරියා අණු ආවරණය කර ඉතා කුඩා නැනෝ අංශු ලෙස සාදන නිසා සාම්ප්‍රදායික යූරියාවලින් මෙම නැනෝ නයිට්‍රජන් පොහොර වෙනස් වේ. මෙම නැනෝ අංශු ඉතාමත් කුඩා ප්‍රමාණයේ පවතින බැවින් ශාක පත්‍රවල ඇති පුටිකා හරහා කාර්යක්ෂමව ශාකයට උරා ගනු ලබයි. මෙම පොහොර විශේෂය කෘත්‍රිමව නිෂ්පාදනය කරනු ලබන සංයෝගයක් වන අතර එය කාබනික පොහොරක් නොවේ. මෙම දියර පොහොර ශාක පත්‍ර මතට ඉසීම සඳහා නිර්දේශ කර ඇති, 4% නයිට්‍රජන් අඩංගු සංයෝගයක් බව සඳහන් වේ. මෙම පොහොර වර්ගය ඉතා මෑතක දී ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට ලක් කරන ලද, එමෙන්ම මෙම වසරේ මාර්තු මාසයේ දී මහා පරිමාණ වාණිජ නිෂ්පාදනය සඳහා ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද රසායනිකයක් වේ. කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සම්මත ප්‍රමිතීන්ට අනුව (SLS1324:2018) කාබනික වගාවන් සඳහා නැනෝ පොහොර නිර්දේශ නොකරයි.
කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් විසින් සිදුකරන ලද මාධ්‍ය නිවේදන හරහා දැනගැනීමට ලැබෙන ආකාරයට, වී වගාවේ හෙක්ටෙයාරයකට මෙම දියර පොහොර ලීටර 2.5 ක් (4 ml/L) එක්වරකට යෙදිය යුතු වේ. එමෙන්ම වගා කාලය තුළ තුන් වරක් එය යෙදිය යුතු බැවින් එක කන්නයක දී හෙක්ටෙයාරයකට අවශ්‍ය මුළු දියර පොහොර ප්‍රමාණය ලීටර 7.5 ක් වේ. මෙසේ යෙදීමේ දී නැනෝ නයිට්‍රජන් දියර පොහොර මඟින් වී වගාවේ හෙක්ටෙයාරයකට සැපයෙන නයිට්‍රජන් ප්‍රමාණය ග්රෑම් 300 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් හෙක්ටෙයාරයකින් නිෂ්පාදනය වන ටොන් 4-5 දක්වා වූ වී අස්වැන්නක් ලබාදීම සඳහා ගොයම් ගස් මඟින් ආසන්න වශයෙන් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105 ක් සපයාගත යුතුව තිබේ. මේ ආකාරයෙන් බලනවිට, ශාකයේ නයිට්‍රජන් අවශ්‍යතාවය නැනෝ නයිට්‍රජන් පොහොර මඟින් පමණක් සැපයීමට අවශ්‍ය නම් ඒ සඳහා හෙක්ටෙයාරයකට මෙම දියරය ලීටර් 1,250 ක් යෙදිය යුතුය! මෙවැනි ක්‍රියාවක් කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව ඉතා පැහැදිලි කරුණකි.
IFFCO ආයතනයේ නිල වෙබ් පිටුවෙහි සඳහන් වන ආකාරයට මෙම දියරමය නැනෝ නයිට්‍රජන් පොහොර වගාවට යෙදීම නිර්දේශ කරනු ලබන්නේ ශාකයේ වර්ධක අවස්ථාවේ මතුපිට පොහොරක් ලෙස, යූරියා භාවිතය අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස පමණි. ඒ සමඟම වගාවට අවශ්‍ය අනෙක් ප්‍රධාන මුලද්‍රව්‍ය වන පොස්පරස් සහ පොටෑසියම් නියමිත ප්‍රමාණවලින් ලබා දිය යුතු වේ. මේ සම්බන්ධව දැනට ප්‍රකාශිත සියලු විද්‍යාත්මක පර්යේෂණ නිර්දේශ කර ඇත්තේ මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර, යූරියා භාවිතය සියයට පනහක් දක්වා අඩු කිරීමට උපකාරක පොහොරක් ලෙස මිස යූරියා භාවිතයට පූර්ණ විකල්පයක් ලෙස නොවේ.
මීට අමතරව, මෙවැනි මහා පරිමාණ දියර පොහොර ඉසීම කාර්යක්ෂමව කිරීම සඳහා නවීන ඩ්‍රෝන තාක්ෂණය යොදාගත යුතු වේ. එයට හේතුව, විශාල වපසරියකින් යුතු කෘෂිකාර්මික ක්ෂේත්‍ර සහ වඩා උසකින් යුතු බඩඉරිඟු සහ උක් වැනි වගාවන් සඳහා සාම්ප්‍රදායික ඉසිනයන් සාර්ථක නොවන බැවිනි. එමෙන්ම යොදන දියර පොහොර කාර්යක්ෂමව භාවිතා කිරීමට නම් ඒ වන විට බෝගයේ පත්‍ර පස ආවරණය වන තරමට වර්ධනය වී තිබිය යුතු වේ. මීට අමතරව පවතින කාලගුණික තත්ත්වය සහ දියර පොහොර ඉසීමේ තාක්ෂණික ක්‍රමවේදය මෙහි සාර්ථකත්වයට ඉතා දැඩි ලෙස බලපායි. ඒ බැවින් මේ සඳහා අවශ්‍ය තාක්ෂණය ගොවීන්ට නිවැරදිව ලබා දීම වැදගත් වේ.
මේ ආකාරයට සලකා බලන විට, මෑතක දී රජය මඟින් සිදුකරන්නට යෙදුනු “රසායනික” පොහොර තහනමත් සමඟ, ගොවියන්ට තම වගා කටයුතු කරගෙන යාම සඳහා ලබා දිය යුතු විකල්ප කවරේදැයි යන්න ඉතා විශාල ගැටලුවක්ව පවතී. මෙම පොහොර සැපයුම් අඩාල වීමත් සමඟ බෝග වර්ධනය සඳහා විවිධ පෝෂණ ද්‍රව්‍යයන් හීන වූ පසුබිමක, ඉතා අධික මුදලක් වැය කරමින් ගෙන්වන්නට යෙදුනු නැනෝ නයිට්‍රජන් පොහොර භාවිතය හරහා අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි වේ දැයි යන්න ගැටලුවකි. නැනෝ නයිට්‍රජන් දියර පොහොර ශාකයේ පත්‍ර මතට ඉසින බැවින් ඒවායේ සාන්ද්‍රණය නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩි කල නොහැක. එමඟින් ශාක පත්‍රවලට හානි සිදුවන බැවිනි. මේ හේතුව නිසා ශාකයට අවශ්‍ය සමස්ථ නයිට්‍රජන් ප්‍රමාණය පත්‍ර හරහා ලබාදීම ප්‍රායෝගික නොවේ. ඒ සඳහා ඇති එකම විකල්පය කුඩා සාන්ද්‍රණවලින් කිහිප වතාවක් මෙය පත්‍ර මතට ඉසීමයි. නමුත් 4% ක සාන්ද්‍රණයකින් යුතු පොහොරකින් ශාකයේ අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට නම් ඉතා විශාළ වාර ගණනක් ශාකයට ඉසීම කල යුතුය. මෙය කිසිසේත්ම ප්‍රායෝගික නොවේ.
තවත් සලකාබැලිය යුතු කරුණක් වන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර, සාම්ප්‍රදායික යූරියා පොහොරට වඩා කිහිප ගුණයකින් මිළෙන් වැඩි බවය. එමෙන්ම, සාම්ප්‍රදායික කෘෂිරසායන ඉසිනයන් භාවිතයෙන් වී වගාවට මෙම පොහොර යෙදීම නිෂ්පාදන පිරිවැය විශාල ලෙස ඉහල නැංවීමට හේතුවක් වනු ඇත.
සාමාන්‍යයෙන් බලපවත්වන නීතියට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඕනෑම පොහොරක් ඒ සම්බන්ධව ප්‍රමිතිගත පරීක්ෂණයකින් සමත්වී තිබිය යුතු අතර, කිසිදු අහිතකර ද්‍රව්‍යයක් ඒ තුළ අන්තර්ගත නොවන බවට විද්‍යාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබිය යුතු වේ. එමෙන්ම, ඕනෑම පොහොර වර්ගයක් පසට හෝ බෝගයන්ට නිර්දේශ කිරීමට පෙර නිසි ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට ලක් කර තිබිය යුතුය. මෙම පොහොර ආනයන ක්‍රියාවලිය තුළ ඒ කිසිවක් සිදු නොවන බව පෙනෙන්නට තිබේ.
අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ, පරිසර හිතකාමී, හරිත කෘෂිකර්මාන්තයක් කරා යන ගමනේ දී පසෙහි සාරවත්බව වැඩිදියුණු කොට පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බවයි. එසේ වුවද, බෝගයන්ට ඉසිනු ලබන දියර පොහොර මඟින් පසෙහි සරු බව ඉහල නැංවීමට නොහැකි වේ. එබැවින් මෙම දියර පොහොර ආනයන වැඩපිළිවෙල හරහා අස්වැන්න වැඩි කරගැනීමේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකිවනවා පමණක් නොව හරිත කෘෂිකර්මාන්තය සඳහා වූ අපේක්ෂාවන්ද ඉටුකරගැනීම දුෂ්කර කටයුත්තක් වනු ඇත.