Saturday, January 18, 2025

ඉන්ධන මිල වැඩි කරන්න යෝජනාව නැවතත් ඇමතිට ඉදිරිපත් කරයි. වැඩි කරන්න අවසර නැත්නම් ඉන්ධන අත්‍යාවශ්‍ය සේවාවලට පමණයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබේ.

පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට මිල වැඩිකිරීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192 දක්වා ඉහළ නැංවිය යුතු බවටයි.

සංස්ථා ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් 121 කට වන අතර එය රුපියල් 169 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද යෝජනාවේ සඳහන් වෙයි.

මෙම මිල වැඩිකිරීම අනුමත වුවහොත් එය ඉතිහාසයේ පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි වන ඉහලම මිල වනු ඇති බව වාර්තා වේ.

ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ ඒ අනුව විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණයක් ගන්නා බවයි.

දැනට සංස්ථාවේ දෛනික අලාබය රුපියල් කෝටි 365 කට වැඩි බවද පැවසූ ඔහු ඉන්ධන මිල ඉහළ නොදැම්මොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බව ද හෙතෙම පැවසීය.

එනිසා ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් මෙම මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතල මූල්‍ය බිඳවැටීමට ලක්වනු ඇති බවද හෙතෙම පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles