Saturday, September 21, 2024

ඊළග අයවැයෙන් වැඩි වාසිය රාජපක්ෂවරුන්ට – අනිද්දා වාර්තා කරයි

ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අනුව, මුළු රාජ්‍ය වැයෙන් 30% කට අධික ප‍්‍රමාණයක් ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද, චමල්, බැසිල්, නාමල් සහ ශෂීන්ද්‍ර යන ආණ්ඩුව තුළ තනතුරු දරන රාජපක්ෂවරුන් හය දෙනා අතර බෙදීගොස් ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.


මෙම තත්ත්වය විශේෂත්වයක් වන්නේ ජනාධිපති, අගමැති ඇතුළු මුළු කැබිනට් මණ්ඩල සාමාජික සංඛ්‍යාව 28 ක් වීමත් රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව කැබිනට් අමාත්‍ය ධූරයක් දරන චමල් හා නාමල් රාජපක්ෂ හැරුණු විට 38 ක් වීමත් තුළ ය.


2022 රාජ්‍ය වැයෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 778 ක මුදලක් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය ඇතුළු ජනාධිපති, අගමැති ඇතුළු රාජපක්ෂවරුන් යටතේ ඇති කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශවලට වෙන් ඇති අතර එම වර්ෂයට අදාල මුළු රාජ්‍ය වැය රුපියල් බිලියන 2505 කි.


රුපියල් බිලියන 373 ක් වන වැඩිම වැය ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති අතර එය 2021 වසරේ ආරක්ෂක අමාත්‍යංශය සදහා වෙන් කළ මුදලට වඩා වැඩිය. එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වැය ශීර්ෂයද 2022 දී වැඩි වී ඇති අතර, එය රුපියල් බිලියන 185 කි.


ඊට අමතරව, මේ වන විට අජිත් නිවාඞ් කබ්රාල් රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ අමාත්‍යංශයද මුදල් අමාත්‍යංශයට එක්කොට ඇති අතර එම අමාත්‍යංශය සදහා වෙන් කර තිබෙන රුපියල් බිලියන 45 ක මුදලද, බැසිල් රාජපක්ෂ යටතේ පවතින මුදල් අමාත්‍යංශය යටතට පත් වේ.


අගමැති කාර්යාලය සදහා වෙන් කර තිබෙන මුදලද පසුගිය වසරට වඩා වැඩි වී තිබේ. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ වැය ශීර්ෂයද පසුගිය වසරට වඩා වැඩිය.


රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂට වෙන්කර තිබෙන මුදල් රුපියල් බිලියන 45 ක් වන අතර කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා වන මහින්දානන්ද අළුත්ගමගේ ට වෙන් කර තිබෙන මුදල රුපියල් බිලියන 24 කි.


කෙසේ වෙතත්, කොරෝනා වසංගත රෝග තත්ත්වයක් රටේ පවතිද්දීසෞඛ්‍ය අමාත්‍යංශය සදහා වෙන් කර තිබෙන රුපියල් බිලියන 153 ක් වන අතර, පසුගිය වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශය සදහා වෙන්කර තිබුණු මුදල් රුපියල් බිලියන 158 ක් වෙන් කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles