Wednesday, December 25, 2024

උගත් පරපුරක් රටට දායාද කිරීමට කැප වෙනවා

තාරුණ්‍ය ආත්ම අභිමානයෙන් ගෞරවයෙන් පිරි කාලයක් ලෙස ගත කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනංවමින්, උගත් පරපුරක් රටට දායාද කිරීමට රජය කැප වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පසුගිය දා ආරම්භ වූ පුලතිසි යොවුන් කඳවුරේ සමාරම්භක උළෙල අමතිනි.

රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් පිරිපුන් තරුණ පරපුරක් බිහි කිරීමේ ඒකායන අරමුණ පෙරදැරිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාවට නැංවිණි.

තරුණ කඳවුරු වැඩසටහන් මාලාවේ ප්‍රථම කඳවුර ‘ පිබිදෙන පුලතිසි යෞවනය’ කඳවුර පසුගිය 10 වැනි දා සිට ඊයේ (12) දක්වා පැවැත්විණි.

යොවුන් කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයාට තරුණ තරුණියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, තරුණ තරුණියන් තරුණ ප්‍රතිඥාව ලබා දීමෙන් පසු කඳවුරේ කටයුතු ආරම්භ කරන ලදී.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද සඳහන් කළේය.

දිස්ත්‍රික්කයක තරුණයන් වෙනුවෙන් තෙදින තරුණ කඳවුරක් අපේ රටේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ එකම දිස්ත්‍රික්කයකවත් තරුණයන් විශාල සංඛ්‍යාවක් නියෝජනය කරන තෙදින කඳවුරක් මෙතෙක් පවත්වා නැහැ. ඒ අවස්ථාව ඔබට උදා වුණේ ඔබේ දිස්ත්‍රික්කයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කර ගත් නිසයි.

මෙවැනි තරුණ කඳවුරක් සංවිධානය කිරීමට අවශ්‍ය සම්පත්, අනුග්‍රහය, කැපවීම සුළුපටු නැහැ. ගුණාත්මක බවින් හා උසස් ප්‍රමිතියකින් මේ කටයුත්ත කිරීමට ආයතන රාශියක් අවශ්‍ය වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, තරුණ කටයුතු, නිපුනතා සංවර්ධන, රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශයන්, යුද, නාවික, ගුවන් හමුදාත්, පොලිසිය වැනි ආයතනත් කඳවුර ශක්තිමත් කිරීමට කටයුතු කළා. පෞද්ගලික ආයතන රාශියක් අපට අවශ්‍ය සම්පත් ලබා දෙමින් මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූවා.

මේ තරුණ දරු පිරිස පින්වන්ත, භාග්‍යවන්ත පිරිසක් යැයි මා විශ්වාස කරනවා. ඔබ මෙන් මගේ තාරුණ්‍යයත් වෙළේ, පැලේ, කමතේ, නියරේ අත්දැකීම් සමඟ ගොඩනැඟුනා. පොළොන්නරුවෙන් පැමිණ සිටින දහස් සංඛ්‍යාත තරුණ පිරිස් අතරින් මේ රටේ අනාගතය තුළින් නැවතත් අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් බිහිවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

වසර 732කින් පසුව පොළොන්නරුවෙන් රාජ්‍ය නායකයෙක් බිහි වුණේ කියා නිවේදක මහතාගේ කතාවේ දී සඳහන් කළා. මේ තරුණ පිරිස අතරින් රාජ්‍ය නායකයෙක් බිහිවේවා කියා මා ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසයි. මේ තරුණ කඳවුර පැවැත්වීමට තීන්දු කළේ කරුණු ගණනාවක් මුල් කරගෙනයි. මේ සමාරම්භක උළෙලේ දී ඔබ ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ ප්‍රතිඥාව මා කලින් කියවා තිබු‍ණේ නැහැ. කලින් අසා තිබුණෙත් නැහැ. තමන් තමන්ට ආදරේ කරන්නැයි එහි සඳහන්ව තිබුණා. තමන් තමුන්ට ආදරේ නොකර අනික් අයට ආදරේ කිරීමට ශක්තියක් ගොඩනැ‍ඟෙනවාද යන කාරණය අප අපේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතුයි. අප මවුපියන්ට ආදරේ කරනවා. දරුවන්ට ආදරේ කරනවා. ආදරවන්තියට ආදරේ කරනවා. ආදරවන්තයාට ආදරේ කරනවා. පාරේ යන එන විට හමුවන අයට ආදරේ කරනවා. ආදරේ කියන දේ කෙළවරක් නැති නිමක් නැති දෙයක්.

ජීවිත කාලය තුළ ඔබට ආදරේ කරන්න ශක්තිය අවශ්‍යය ද. ඒ ශක්තිය දෙන්න පළමු දේ වන්නේ ඔබේ කායික හා මානසික සෞඛ්‍යය තත්ත්වයයි. ඒ නිසා ප්‍රථමව ඔබ, ඔබට ආදරේ කරන්න කියා ප්‍රතිඥාවක් ලබා දුන්නා. බොහෝ වෙලාවට අපට බොහෝ දේවලින් ඈත් විය නොහැකියි. ඔබ තරුණ පිරිස ලෙස ලබාගත යුත්තේ දැනුමයි.

දැනුම උගත්කම තුළ පරිපූර්ණ වන ජනතාවක් රටක් ගොඩනඟන්න කාර්යක්ෂම, අධිෂ්ඨානශීලී වූ ආත්ම ශක්තියක් ආත්ම අභිමානයක් ආත්ම ධෛර්යයක් ඇති ජනතාවක් බිහි වන්නේ එවිටයි. රාජ්‍යයක වගකීම මූලික වශයෙන්ම ඒ රටේ ජනතාව උගතුන් කිරීමයි. ඒ රටේ ජනතාව දැනුවත් භාවයෙන් පරිපූර්ණ කිරීමයි. රටේ ජනතාව ලෝකයේ තවත් රටක ජනතාවට දෙවැනි නොවන ආකාරයට දැනුමෙන් අවබෝධයෙන් ශක්තිමත් කිරීමයි. ඒ උගත්කම සහ දැනුම එක්ක මූලික වශයෙන්ම ජීවිතය සමත් වෙන්න නම් විනයක් ඇති මිනිසෙක් බිහි විය යුතුයි.

අද රටේ ජනතාවගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් පෙනෙනවා. දේශපාලනඥයන් තුළ විනයක් තිබෙනවාද යන කාරණාව අප විමසිය යුතුයි. විනයේ ආදර්ශය රටට දෙන්න මේ රටේ සියලු දේශපාලනඥයන් විනයක් ඇති දේශපාලනඥයන් ලෙස හැසිරෙනවාද යන ප්‍රශ්නය ඊයෙත් තිබුණා. අදත් තිබෙනවා. එය හෙට දවසේ අවසන් කර ගැනීම සඳහා අප අධිෂ්ඨානශීලී විය යුතුයි. යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවන්වල මූලික පුහුණුවේ සිට වැදගත්වන්නේ විනයයි. අප ඒ පිළිබඳ සතුටු වෙන්න ඕනෑ. යුද්ධයක් කරන්න වැදගත් අත්‍යවශ්‍ය දේ විනයයි. ඒ තුළ හමුදාව කළමනාකරණය වෙනවා.

ලෝකයේ ඇතැම් රටවල්වල රජයන් විසින් මුළු රාජ්‍යයේ ජනතාව හමුදා පුහුණුවකට ලක් කරනවා. සිංගප්පූරුවේ පළමු පරිවර්තනය කළ නායකයා ලී ක්වාන් යූ සිංගප්පූරුවේ බලය ලබා ගැනීමෙන් පසු වර්ෂ දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ රටේ සමස්ත ජනතාවට හමුදා පුහුණුව ලබා දුන්නා. ඒ පුහුණුව දීම තුළින් ඔහු බලාපොරොත්තු වුණේ යුද්ධයක් කරන රණකාමී ජනතාවක් බිහි කිරීම නෙවෙයි. ඔහු බලාපොරොත්තු වුණේ රටේ සියලු පුරවැසියන් විනයක් ඇති ජාතියක් ලෙස ගොඩනැඟීමයි.

ඒ නිසා සියලු ක්ෂේත්‍රවල විනය පිරිහීම රටේ ඉදිරි සංවර්ධන ගමනට බාධාවක් වෙනවා. ඔබට අවශ්‍ය විශාල සම්පත් ප්‍රමාණයක් ලබා දී අප මේ කඳවුරෙන් බලාපොරොත්තු වන ප්‍රමුඛ අංශයක් වන්නේ විනයක් ඇති යහපත් තරුණ පිරිසක් අනාගතයේ ගොඩනැඟීමයි. ඒ සඳහා නායකත්වය දීමටයි අප මෙලෙස කටයුතු කරනවා. මේ තරුණ කඳවුරේ නායකයන් ඔබයි. කඳවුර කළමනාකරණය කෙරෙන, දේශන පවත්වන, වැඩසටහන් මෙහෙයවන අය නොවෙයි. ඔබ පොළොන්නරුවේ තරුණ පිරිස් ලෙස අනාගතයේ දී රටේ සියලු තරුණ පිරිස් වෙතට ආදර්ශයක් ඇති තරුණ පිරිස් ලෙස වැඩ කිරීම අප ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ දී පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන, තුන් අවුරුදු සැලැස්ම මේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය, අධ්‍යාපන, වාරිමාර්ග කෘෂිකර්ම, තරුණ කටයුතු, සමාජ සුබසාධන ආදී සියලු ක්ෂේත්‍ර හරහා වැඩ කෙරෙනවා. වසර 2018 -2019 වන විට ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ආදර්ශමත්ම දිස්ත්‍රික්කයක් බවට පොළොන්නරු දිස්ත්‍රික්කය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ විභාග ප්‍රතිඵල පිළිබඳව නම් එතරම් සතුටු විය නොහැකියි. ඊට හේතු තිබෙනවා. ගුරු හිඟය මෙන්ම බොහෝ පාසල්වල සම්පත් හිඟයක් තිබෙනවා. මම 2015 ජනාධිපතිවරයා වූ පසු මුලින්ම කළේ මේ දිස්ත්‍රික්කයේ පාසල්වලට රුපියල් කෝටි 23ක ඩෙස් පුටු ලබා දීමයි. කෝටි නවයකින් පටන් ගෙන එය කෝටි 23 දක්වා ගෙන ගියා. පාසල්වල දරුවන්ට ඉඳ ගැනීමට පුටුවක්, ලිවීමට මේසයක් ඩෙස් පුටු අඩුපාඩු තිබුණා. ඒ පාසල් අංග සම්පූර්ණ කරනවා. වකුගඩු රෝගී අංශය ගත් විට මේ දිස්ත්‍රික්කය වගේම මුළු රටේම බරපතළ තැනක තිබෙනවා. අප වීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ලබන ජුලි මස 01 වැනි දා ඉදලා චීන රජයෙන් පරිත්‍යාග කරන විශේෂ ජාතික වකුගඩු රෝහල පොළොන්නරුවේ ආරම්භ කරනවා.

දැනුම ලබාදීමේ කාර්යයේ දී පාසලේ දරුවා ප්‍රමුඛ විය යුතුයි. පාසලෙන් බැහැරව සිටින ඔබ වැනි පිරිස්, රැකියා නොකරන, කරන පිරිස් ඉන්න පුළුවන්. ඒ අයට දැනුම ලබා දෙන්න අංග සම්පූර්ණ පුස්තකාල සේවා, වෘත්තීය අධ්‍යාපනය ලබා දීම අවශ්‍යයි. මේ තෙදින තුළ ඔබට ඊට අවශ්‍ය දැනුම ලබා දෙනවා. නවෝත්පාදන ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. හරිත ආර්ථිකයක්, ඒ තුළ ගොඩනැ‍ඟෙන නව ජාතික ප්‍රබෝධයක්. අන්තර්ජාතික වශයෙන් වෙළෙඳපොළට අවශ්‍ය උගතුන් වෙළෙඳපොළට යවා අප අන්තර්ජාතික වෙළෙඳපොළ ජයග්‍රහනය කළ යුතුයි. අපට සැමදා ගෘහ සේවිකාවන් විදේශයට යවා මුදල් උපයන රටක් විය නොහැකියි.

අප ඉතාම කෙටි කාලයක් තුළ එය අවසන් කරන්න අවශ්‍යයි. උගතුන්ගේ වෙළෙඳපොළ අප ජය ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරිවරු, හෙද සේවයත් විවිධ තාක්ෂණික හා කාර්මික අංශවල පුහුණුවත් ඔබ වැනි තරුණ පිරිස්වලට ලෝක වෙළෙඳපොළේ නවෝත්පාදන ආර්ථිකය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා.

ඒ සඳහා යොමු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම අප රජයක් ලෙස ඉටු කිරීමේ කාර්යය ආරම්භ කර තිබෙනවා. නෙදර්ලන්තයේ ආධාර යටතේ මේ වසරේ දී ජාතික මට්ටමේ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආරම්භ වෙනවා. එය පොළොන්නරුව දිස්ත්‍රික්කයට සීමා වූවක් නොවෙයි. එය ජාතික මට්ටමේ ආයතනයක්. ඒ සම්පත් ලබාදීමෙන් දරුවන්ට අවශ්‍ය යහපත් ලෝකයක්, ගුණ ගරුක සමාජයක්, විනය ගරුක සමාජයක් විශිෂ්ට මිනිසුන් ලෙසින් ගොඩනැ‍ඟෙනවා. ඔබේ තිබෙන දක්ෂතා, ඔබට තිබෙන නිර්මාණ ශීලීභාවයන්, ආත්ම ධෛර්ය, ආත්ම ශක්තිය සහ ආත්ම අභිමානය සමඟින් ඓතිහාසික පොළොන්නරු පුරවරෙන් වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ කතාවෙන් පැවත එන පරපුරක් ලෙස හැඳින්විය හැකියි. ඔබ පොළොන්නරුව, රට නොව මේ ලෝකය ජයග‍න්න ජාත්‍යන්තරයේ විශිෂ්ටයන් බවට පත් විය යුතුය යන්න අපේ ඒකායන ප්‍රාර්ථයයි. ඊට අවශ්‍ය මඟ පෙන්වීම අප සිදු කරනවා. අවශ්‍ය උපදෙස් අප ලබා දෙනවා. ඔබ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රකාශ කළ ආකාරයට ඒ සියල්ල සඳහා සැ දී පැහැ දී ඉදිරිපත් වී ඉදිරියට පැමිණිය යුතුයි. ඔබට ආත්ම අභිමානය ආත්ම ශක්තිය සැම විටම ලැබී ඔබ සෑම දෙනා ආදරය කරන මිනිසකු බවට පත්විය යුතුයි.

අද මත්ද්‍රව්‍ය ප්‍රශ්නය මුළු ලෝකයම වෙලාගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ලෝකයේ ආණ්ඩු හදනවා. ලෝකයේ ආණ්ඩු පෙරළනවා. දේශපාලන පරිවර්තන කරනවා. ජාවාරම්කාරයන් සමහර ආණ්ඩු පාලනය කරනවා.

අපේ රට තුළත් වේගයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වන රටක්. අප දූපත් රාජ්‍යයක් ලෙස මෙරටට නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ගෙන ඒම මහත් ප්‍රශ්නයක්ව තිබෙනවා. දරුවන්ගේ කැපවීම, අධිෂ්ඨානය තුළ ඔබ සියලු දෙනාම මත්ද්‍රව්‍යවලින් නිදහස් වූ දරුවන් බව මා විශ්වාස කරනවා. මතට ඇබ්බැහි නොවූ අය බවට මම ඔබ කෙරෙහි විශ්වාසය තබනවා. මේ තෙදින තරුණ කඳවුර තුළ ඔබට පෙන්වන මඟ පෙන්වීම තුළින් ඔබ ජීවිතය ජය ගන්නා ආකාරය පෙන්වා දෙනවා. ඔබට මිනිසුන් අතර සැබෑ මිනිසෙක් වන්න, ප්‍රමුඛයන්ගේ ප්‍රමුඛයෙක් වන්න, විශිෂ්ටයන්ගේ විශිෂ්ටයෙක් වීමට මතින් නිදහස් මිනිසෙක් වන්න අධිෂ්ඨාන කරගත යුතුයි. ජාතියේ අනාගතය වෙනුවෙන් කළ හැකි එකම පරිත්‍යාගය වී තිබෙන්නේ එයයි.

මේ වානිජ සමාජයේ අපට සිත යොමුවන්නේ අනවශ්‍ය දේවල් වලටයි. අපිට සුදුසු, නුසුදුසු දේ මොනවාද කියා තෝරා බේරා ගැනීම වැදගත් වෙනවා. මේ රාජකීය විද්‍යාල භූමිය තුළ අධ්‍යාපනය ලද ශිෂ්‍යයෙක් ලෙස පොළොන්නරු ලක්ෂඋයන ගමේ පාසලට ගිය ශිෂ්‍යයෙක් ලෙස තෝපාවැව මහා විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක් ලෙසින් අද ඔබ දකින ලෝකය එදා මටත් තිබුණා. ඒ ප්‍රාර්ථනා පිරි ලෝකයේ මන්ත්‍රීවරයෙක් වෙන්න, ජනපතිවරයෙක් වෙන්න ප්‍රාර්ථනා තිබුණේ නැහැ. එය ජීවිතය දෛවය හා දේශපාලනික කැප කිරීමක් ලෙස මා දකිනවා.

ඔබ අද දකින දේට වඩා එදා මම ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයක්. ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු පහසුකම් හරිහැටි එදා තිබුණේ නැහැ. අද ඔබ විඳින පහසුකම් එදා අපට තිබුණේ නැහැ. ඒ නිසා ඔබට ඔබේ අනාගතය සාර්ථක කරන්න, හොඳ තරුණයෙක් බිහි කරන්න, ඔබ සටන් කළ යුත්තේ ඔබ සමඟයි. ඔබේ මගේ මාතෘභූමිය යහපත් කරන්නයි. ඔබටත් මටත් වටපිටාවේ තිබෙන ප්‍රශ්න එක සමාන වන්න පුළුවන්. නමුත් අප මාතෘභූමියේ යහපත උදෙසා කැපවිය යුතුයි.

මම මේ රටේ සියලු මාධ්‍යවලින් ඉල්ලා සිටින්නේ මාධ්‍ය තුළ හැකි තරම් මේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව යහපත් කළ හැකි දේ විකාශය කරන ලෙසයි. එක් එක් පුද්ගලික න්‍යාය පත්‍රයන්ගේ සිට, එක් එක් දේශපාලන න්‍යාය පත්‍රවල නැතිව රටක් ගොඩනැඟීමේ දී මාධ්‍ය සතු වගකීම් රාශියක් තිබෙනවා.

මේ දින තුනක තරුණ කඳවුර අවසානයේ ඔබ පැමිණියාට වඩා සාර්ථක මිනිසකු විය යුතුයි. මේ තරුණ කඳවුර හා එක් වූ ඔබට ඉදිරි මඟ පෙන්වීම මේ දින තුනෙන් අවසන් කරන්නේ නැහැ. රජයේ සියලු අමාත්‍යාංශ, පළාත් සභා, රාජ්‍ය නොවන ආයතන සියල්ල එක්ව මේ පැමිණි තරුණ පිරිස්වල ජීවිත යහපත් කරන්න අප ප්‍රමුඛත්වයක් ලබාදෙනවා.

ඔබේ අනාගතය ඉතා වාසනාවන්තයි. ඔබ කිසිවිටෙක පසුපසට යන්න එපා. ඔබ සැමවිටම ඉදිරියට යන්න. ඔබ කිසිදු විටෙක පරාජිත හැඟීම් ඇති කර ගන්න එපා. කිසිවිටෙක නැති බැරිකම ප්‍රශ්නයක් කර ගන්න එපා. ඔබේ අත්දැකීම් මමත් මගේ ජීවිතය තුළ විඳි කෙනෙක්. පොළොන්නරු දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් සිටින අහිංසක ගොවි මහතුන් ඇතුළු ජනතාවගේ අනාගතය සාර්ථක කරන්න අප රජයක් ලෙස කැප වෙනවා. ඒක අපේ රාජ්‍ය වගකීම වගේම පෞද්ගලිකවත් කැප වෙනවා.

සමාජ සවිබල ගැන්වීම සහ සුබ සාධන ඇමැති එස්. බී. දිසානායක, නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ, කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles