Saturday, January 25, 2025

එක්කෝටි විසිලක්ෂයක විදුලි බිලක් ගෙවා නැති කිරුලපන සරණංකර පාරේ නිවසක සිටින කැබිනට් ඇමති කවුද ?

විදුලි පාරිභෝගිකයින් ලෙස මෙරට ජනතාව විදුලි බිල්පත් ගෙවීම සිදු කළ යුතු වුවත්, ඊට පෙර ආණ්ඩුවේ අමාත්‍යවරු ඇතුළු මෙරට මැති ඇමතිවරු විසින් භාවිත කළ විදුලියට අදාළ බිල්පත් අය කරගැනීම සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානයේ ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, විදුලි බිල් නොගෙවා සිටින මැති ඇමතිවරු සම්බන්ධව තමන්ට ඉඟි ද ලබා දිය හැකි බවයි.

කිරුලපන සරණංකර පාරේ පිහිටි නිවාසයක වාසය කරන මෙරට බලගතු කැබිනට් අමාත්‍යවරයෙකුද ඒ අතරවන බව ඔහු අනාවරණය කළා.

අදාළ කැබිනට් අමාත්‍යවරයාගේ නිවසෙහි විදුලි හිඟ බිල පමණක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණවන බව ජයලාල් මහතා හෙළි කර සිටියා.

රන්ජන් ජයලාල් මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් කියා සිටියේ විදුලිය විසන්ධි කිරීමට ගියද ඒ සදහා ඉඩ ලබා නොදෙන බවකි.

එබැවින් බිල් පත් ගෙවීමට ප්‍රමාද වූ මෙරට සාමාන්‍ය ජනතාවගේ විදුලි බලය විසන්ධි කිරීමට පෙර අදාළ කැබිනට් අමාත්‍යවරයාගේ නිවසෙහි එක් කෝටි විසි ලක්ෂයක විදුලි බිලට අදාළ විදුලිය විසන්ධි කිරීම සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ විදුලි බිල ගෙවා නොමැති වීම හේතුවෙන් කිරුළපන විදුලිබල මණ්ඩල කාර්යාලයේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරුන් අදාළ අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඇති නමුත් ඔවුන්ට සිය රාජකාරිය සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව යි.

අමාත්‍යවරයා සිය ආරක්ෂක අංශ යොදවා විදුලි මීටරය සමීපයට යාමට ඉංජිනේරුවරුන්ට ඉඩ ලබා නොදෙන බව ද ජයලාල් මහතා අනාවරණය කොට සිටියා.

රන්ජන් ජයලාල් මහතා අවසානයේ දී මේ අයුරින් ද අදහස් පළ කොට සිටියා.

“මේ රටේ බුලත් විටක් විකුණගෙන කුලියක් මලියක් කරගෙන ඉන්න මිනිහගේ ලයිට් කපන්න කළින් කිරුළපන සරණංකර පාරේ ඉන්න ප්‍රබල කැබිනට් ඇමතිවරයාගේ එක්කෝටි විසි ලක්ෂයක හිඟ බිලට ලයිට් කපන්න. කිරුළපන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා කපන්න ගියාම ආරක්ෂක අංශය විසන්ධි කරන තැනට යන්න දුන්නේ නෑ.

ඒ නිසා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට අපි බොහොම වගකීමෙන් කියනවා, කරුණාකරලා කියන්න, මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කීයක් හිඟ මුදල් ගෙවන්න තියෙනවාද විදුලිබල මණ්ඩලයට.”

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ විදුලි බිල්පත්වලට අදාළ මුදල් අයකර ගැනීම විදුලිබල මණ්ඩලයේ කාර්යයක් මිස තම කොමිසමෙහි කාර්යයක් නොවන බවයි.

තමන් සිදු කරන්නේ නියාමනය පමණක් බවත්, එහි දී පරිභෝජනය පිළිබඳ පමණක් තමන්ට වැදගත් බවත්, පාරිභෝගිකයා කවුරුන් ද යන්න තමන්ට වැදගත් නොවන බවත් ඔහු පවසනවා.

පාරිභෝකයා සාමාන්‍ය පුද්ගලයෙකු වුවත්, දේශපාලනඥයෙකු වුවත්, රාජ්‍ය ආයතනයක් වුවත්, පුද්ගලික ව්‍යාපාරයක් වුවත් මහජන උපයෝගිතා කොමිසම අවධානය යොමු කරන්නේ පරිභෝනය පිළිබඳ පමණක් බව ඔහු පෙන්වා දෙනවා.

එබැවින් සිය ආයතනය කිසිදු පුද්ගලයෙකුට විශේෂත්වයකින් සැළකීමක් සිදු නොකරන බව ඔහු අවධාරණය කොට සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles