Saturday, September 21, 2024

එක්සත් ජාතීන්ගේ සංවිධානය තනතුරු අලුත් වේ

* මෙවර සැසිවාරයේ දී ත්‍රස්තවාදයට එරෙහි උපායමාර්ග ගෝලීය වශයෙන් විවරණය කළ යුතු බව නව සභාපතිවරයා පෙන්වා දී තිබිණි. ලෝක සාමය පවත්වාගැනීම එක්සත් ජාතීන්ගේ පරමාර්ථවලට අදාළ ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ සඳහා මහා මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය මේ වසර මුලදී ඇති කරගත් එකඟතා අනුව කටයුතු කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇත.

* සිය අවසන් මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වන මහලේකම් බැන් කී මූන්, 71 වෙනි මහාමණ්ඩල සැසිවාරය අමතමින් ධරණීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සියලු සාමාජික රටවල කැපවීම අවධාරණය කළේය. මෙහිදී ගතවූ පළමු වසර තීරණාත්මක බව කී ඔහු සාමාජික රටවල් සිය ප්‍රතිපත්ති, වැඩසටහන් ආදිය ඊට ඔබින අයුරින් පෙළගැස්විය යුත්තේ එම කාලසීමාවේ බව පෙන්වා දුන්නේය.

* අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා මහා මණ්ඩල සැසිවාරය අමතා කළ කතාව ඉදිරි ජනාධිපතිවරණයට බරව සිදු කිරීම විචාරකයන්ගේ අවධානයට ලක්විය. අමෙරිකා ජනතාවට පණිවිඩයක් ලබාදීමට ඔහු එම අවස්ථාව යොදාගත් බව පෙනිණි. මෙහිදී ජනාධිපති ඔබාමා කියා සිටියේ ලබන නොවැම්බරයේදී අමෙරිකානුවන් අන්ත ජාතිකවාදය සහ හුදෙකලාවීම අතර අතරමංවීමට පවා ඉඩ ඇති බවයි.

නිව්යෝර්ක් නගරයෙන් බෝම්බ හඬ ඇසී පැය ගණනාවකට පසු සාමාජික රටවල් 193 සහභාගිත්වයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වෙනි සැසිවාරය ඇරැඹිණි. වෙනදා එහිදී අවධානයට හා සංවාදයට ලක්වන මාතෘකාවලට අමතරව මෙවර සැසිවාරය කාරණා කිහිපයක් නිසාම යම් විශේෂත්වයකින් යුතුය.

අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා සහභාගිවන අවසන් මහා මණ්ඩල සැසිවාරය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කී මූන්ගේ අවසන් සැසිවාරය මෙය වීම ද ප්‍රමුඛ කාරණා දෙකකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති මෝගන්ස් ලිකටොෆ්ට් සහභාගිවන අවසන් මහා මණ්ඩල සැසිවාරය මෙය වනවිට නව සභාපති වශයෙන් පත්වන ෆීජි රාජ්‍යයේ පීටර් තොම්ප්සන්ගේ පළමු මහා මණ්ඩල සැසිවාරය ද මෙය වේ.

ඉකුත් වසරේ පැවැති 70 වෙනි මහා මණ්ඩල සැසිවාරයේදී සම්මත කොටගත් ධරණීය සංවර්ධන ඉලක්කවල (SDGS) ප්‍රගතිය ගැන මෙවර සැසිවාරයේදී විශේෂයෙන් අවධානය යොමුව ඇත. එම ඉලක්ක 17, වසර 2030 දී සපුරා ගැනීමට අපේක්ෂිතය. එමඟින් සාමාජික රටවල දිළිඳු බව, නිමා කිරීම, අසමානත්වයට එරෙහි වීම, දේශගුණික විපර්යාස අභියෝග ජය ගැනීම වැනි අරමුණු ගණනාවක් සාධනය කර ගැනීමට අවධානය යොමු කර තිබේ. එම පුළුල් න්‍යාය පත්‍රය සෑම සාමාජික රටක්ම ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු බව නව සභාපතිවරයාද අවධාරණය කර තිබිණි. දිළිඳුකම නිමා කිරීමත්, මිහිතලය මනුෂ්‍යයන්ට වඩාත් හිතකර තැනක් බවට පත් කිරීමත් වෙනුවෙන් ධරණීය සංවර්ධන ඉලක්ක බෙහෙවින්ම අදාළ වන බව පෙන්වා දී ඇත. බොහෝ මානුෂීය අර්බුද විසඳාගැනීම කෙරෙහි ලෝකයේ අවධානය යොමු විය යුතු බවද අවධාරණය කෙරිණි. ගෝලීය ත්‍රස්තවාදය පිටුදැකීම, යුද ගැටුම්වලට පිළියම් යෙදීම, සරණාගත හා සංක්‍රමණික ප්‍රශ්නය වැනි කාරණා ගණනාවක් මෙවර සමුළු නයාය පත්‍රයේ වැඩි අවධානයට යොමුව ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව සභාපති තොම්ප්සන් සිය ධුර කාල සීමාව තුළ මුල්‍යමය විනිවිදභාවයකින් කටයුතු කරන බවද ප්‍රකාශ කර තිබේ. සංවිධානයට ලැබෙන සියලු පරිත්‍යාග එක්සත් ජාතීන්ගේ භාර අරමුදලට යොමුකර එමඟින් වියදම් දැරීම වඩා සුදුසු පිළිවෙත ලෙස ඔහු පෙන්වා දී ඇත.

ආරක්ෂාව, ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස වැනි මාතෘකා මෑත කාලීන එක්සත් ජාතීන්ගේ සමුළුවකට න්‍යාය පත්‍රයේ වැඩි අවධානයක් යොමු වූ මාතෘකාය. මෙවරද එය එසේමය. මේ වනවිට සරණාගත හා සංක්‍රමණික අර්බුදයද ඊට එක්වී ඇත. මෙවර සැසිවාරයේ දී ත්‍රස්තවාදයට එරෙහි උපායමාර්ග ගෝලීය වශයෙන් විවරණය කළ යුතු බව නව සභාපතිවරයා පෙන්වා දී තිබිණි. ලෝක සාමය පවත්වාගැනීම එක්සත් ජාතීන්ගේ පරමාර්ථවලට අදාළ ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ සඳහා මහා මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය මේ වසර මුලදී ඇති කරගත් එකඟතා අනුව කටයුතු කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇත.

එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය, විශේෂයෙන් ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංවිධානයට ලක් කිරීම වසර ගණනාවක් තිස්සේ ලෝක නායකයන් අවධානය යොමු කරවමින් ඇති කාරණයකි. මෙවරද නායකයන් ගණනාවක් එය අවධාරණය කර තිබිණි. 21 වැනි සියවසේ ලෝක යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංවිධානය විය යුතු බව සැවොම පිළිගන්නා කාරණයක් බව සඳහන්ව තිබේ.

71 වෙනි මහාමණ්ඩල සැසිවාරය අමතමින් සිය අවසන් මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වන මහලේකම් බැන් කී මූන්, ධරණීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සියලු සාමාජික රටවල කැපවීම අවධාරණය කළේය. මෙහිදී ගතවූ පළමු වසර තීරණාත්මක බව කී ඔහු සාමාජික රටවල් සිය ප්‍රතිපත්ති, වැඩසටහන් ආදිය ඊට ඔබින අයුරින් පෙළගැස්විය යුත්තේ එම කාලසීමාවේ බව පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය බලාත්මක කිරීමට කාලය එළැඹ ඇති බවද සිය කතාවේදී බැන් කී මූන් සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකාවද පැරිස් සම්මුතියට අනුව ක්‍රියාකිරීමට එකඟවී සිටී. ඊට අදාළ වාර්තාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් මහ ලේකම්වරයාට පිරිනැමීමද මෙම සැසිවාරයේදී සිදුවිය. මේ සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය මහලේකම්වරයාගේ පැසසුමට ලක්වී ඇත.

ජනවාරි 1 වැනිදා සිට පත්වන නව මහ ලේකම්වරයා හෝ වරිය සාදරයෙන් පිළිගන්නා බවද තමාගේ සහ තම කාර්යමණ්ඩලයේ පූර්ණ සහාය ඔහු හෝ ඇය වෙත ලැබෙනු ඇති බවද සිය කතාවේදී බැන් කී මූන් සඳහන් කළේය. බොහෝ අනතුරුදායක තත්ත්ව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මහා මණ්ඩලයට සිදුවී ඇති බව පෙන්වා දෙන මහලේකම්වරයා අයුක්තිය නිසා පීඩා විඳින ජනයා වෙනුවෙන් සිය සහයෝගිතාව පළ කිරීමටද එය ක්‍රියා කළ යුතු බව සඳහන් කර තිබිණි. ජනතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙස බලන්නේ ගැටලු හෝ අර්බුද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස පමණක්ම නොව මනුෂ්‍ය වර්ගයාගේ ජීවිත වඩා යහපත් මට්ටමකට ගැනීම සඳහා සක්‍රිය ලෙස සම්බන්ධවන සංවිධානයක් ලෙස බවද ඔහු පෙන්වා දී තිබේ.

අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා මහා මණ්ඩල සැසිවාරය අමතා කළ කතාව ඉදිරි ජනාධිපතිවරණයට බරව සිදු කිරීම විචාරකයන්ගේ අවධානයට ලක්විය. අමෙරිකා ජනතාවට පණිවිඩයක් ලබාදීමට ඔහු එම අවස්ථාව යොදාගත් බව පෙනිණි. මෙහිදී ජනාධිපති ඔබාමා කියා සිටියේ ලබන නොවැම්බරයේදී අමෙරිකානුවන් අන්ත ජාතිකවාදය සහ හුදෙකලාවීම අතර අතරමංවීමට පවා ඉඩ ඇති බවයි. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන නමින් සඳහන් නොකළද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයක් අමතා සිදුකරන අවසන් කතාව මඟින් ජනාධිපති ඔබාමා ඉලක්ක කළේ ඔහු බව පැහැදිලි කාරණයකි. ට්‍රම්ප් දේශසීමා ආරක්ෂාව ගැන ඉදිරිපත් කරන යෝජනාවලට ප්‍රතිචාර වශයෙන් ඔහු කියා ඇත්තේ ජාතියක් තාප්පවලින් වටවීම මඟින් සිදුවන්නේ එය එය විසින්ම සිරගතවීම බවයි.

මේ හැරුණුවිට ආරක්ෂාව, ත්‍රස්තවාදය, ආර්ථිකය වැනි මාතෘකා දෙසට ද ඔහුගේ කතාව දිගුවිය. මැද පෙරදිගට සාමය උදාකිරීමේදී ඊශ්‍රායලය අනුගමනය කරන දැඩි පිළිවෙත ජනාධිපති ඔබාමාගේ විවේචනයට ලක් වූ බවද පෙනිණි. මේ පිළිබඳ ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සමඟ ඔහු සාකච්ඡා කිරීමට ද නියමිත විය. අධිකාරිවාදය සහ ලිබරල්වාදය අතර තරගයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ඔබාමා සියලු ලෝක නායකයන් එය තේරුම්ගත යුතුව ඇති බවද කීවේය. මෙහිදී උදාසීනව සිටීමට තමන් සූදානම් නැති බවද ඔහු පවසා තිබේ.

ලෝක අර්බුදවලට විසැඳුම් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය තුළ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව සවුදි අරාබියේද ස්ථාවරය විය. ඔටුන්න හිමි මොහොමඩ් බින් නයිෆ් බින් අබ්දුල්ලා ෂිස් අල් – සවුද් කුමරු මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඒ බව පැහැදිළි කළේය. ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමද මීට ඇතුළත් විය. පලස්තීනය සහ සෙසු රටවල් මත බලපැවැත්වෙන ඊශ්‍රායල් ආධිපත්‍ය නිමා විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ජපන් අගමැති සින්ෂෝ අබේද සිය කතාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතිවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන අවධාරණය කළේය. මීට වසර 60කට ඉහතදී ජපානය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්වනවිට එවක විදේශ අමාත්‍ය මමොරු ෂිගෙමිටිෂු පළ කළ අදහස් අදටද වලංගු බව ඔහු පෙන්වා දුන්නේය. න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක අමිහිරි අත්දැකීම ලැබූ ලොව එකම ජාතිය ලෙස නිරායුධකරණ වැඩපිළිවෙළ සඳහා මෙන්ම න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරමින් ලෝක සාමය ස්ථාපිත කිරීමට ජපානය කැපවන බවද ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු ලෙස ජපානයට එහිදී යමක් කළ හැකි බව අගමැතිවරයාගේ ස්ථාවරයයි.

මියන්මාරයේ වසර 50ක ඉතිහාසයේ මහාමණ්ඩල සැසිවාරයක් ඇමතූ පළමු ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව බවට අවුන් සාන් සුඛී පත්විය. අලුත නිදහස ලැබූ රාජ්‍යක් ලෙස තම රට 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් වූ බව පැවසූ ඇය අද යළිත් වරක් මියන්මාරයේ අපේක්ෂා දැල් වී ඇතැයිද පැවසුවාය. සංක්‍රමණික ප්‍රශ්නයට විසැඳුම් දීමේදී ඊට බලපෑ මූලසාධක හඳුනාගෙන ඒවා උපුටා දැමීමට කටයුතු කළ යුතු බව ඇය පෙන්වා දී තිබිණි.

මහාමණ්ඩල සැසිවාරය අමතමින් කළ කුළුඳුල් කතාව මඟින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මැද පෙරදිග හා අප්‍රිකානු රටවල සරණාගතයන්ට උපකාරී වීමට අරමුදල් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නාය. එම රටවල සාමය ඇති කිරීමේ කාර්යයට බ්‍රිතාන්‍ය හමුදා උ‍රදෙමින් ඇතැයිද ඇය පැවසුවාය. සිරියාවේ සිවිල් යුදමය වාතාවරණයද බොහෝ නායකයන්ගේ කතාවලදී අවධානයට ලක්විය.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය ඇමතීමට ලැබෙන අවස්ථාව ලෝක නායකයෝ තම රටවල් මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳ ලොව හමුවේ තැබීමට මෙන්ම සෙසු මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමටද යොදා ගනිති. මහා මණ්ඩල සැසි වාරයන්හිදී ගතවූ දශක 7ක කාල සීමාව තුළ එවැනි වැදගත් කතා රාශියක් ඉතිහාසයට එක්වී තිබේ. ප්‍රශ්නය නම් එවැනි ඵලදායී අදහස් යෝජනා කොපමණ සැබෑ වී තිබේද යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයන්ට ලක්විය යුත්තේ මේ කාරණාද සැලකිල්ලට ගනිමිනි. බලවත් රටවල් අතළොස්සක් විසින් එය මත බලපැවැත්වෙන ආධිපත්‍ය වෙනුවට එම සංවිධානයේ පරමාර්ථ හා අරමුණුවලට අනුව ක්‍රියාකිරීමට ඊට ඉඩ ප්‍රස්ථා හා පහසුකම් ලැබීම සිදුවිය යුතුය. තුන්වෙනි ලෝක යුද්ධයක් වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වී ඇතත් ලොව නොයෙක් තැන් හි යුද ගැටුම් රාශියක් පවතින බවද අමතක කළ යුතු නැත. ඇතැම් අවස්ථාවල එවැනි අර්බුද වඩා උග්‍ර කිරීමට එහි හැසිරීම බලපා තිබේ. කවර තත්ත්වයක් යටතේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු තවමත් ලොවටම පොදු වේදිකාව බව බැහැර කළ යුතු නැත. එකී වේදිකාව මිනිස් වර්ගයාගේ සහ සමස්ත මිහිතලයේ යහපත උදෙසා මෙහෙයවීම එය ඉදිරිපිට ඇති ප්‍රමුඛ අභියෝගයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles