Sunday, September 22, 2024

එක්ස්ප්‍රස් පර්ල් හානියට ධීවර ජනතාවට සහන

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවගේ ගැටළු විසදීම හා ඒ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ජාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව නගර ශාලාවේදී අද (12) පැවැත්විණ.


මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා යන මහත්වරුන්ද සහභාගී විය.

වත්තල පල්ලියවත්ත සිට මීගමුව පෝරතොට දක්වා ධීවර සමිති නියෝජතයින් හා මීගමුව කලුපව ආශ්‍රිත ධීවර සමිති නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වූහ.


දැනට තහනම් කර ඇති කලාපය හැර අනෙකුත් ප්‍රදේශවල ධීවර කටයුතු වල නිරතවීම ගැටලුවක් නොමැති බවත්, දැනට තහනම් කර ඇති ප්‍රදේශයන් ධීවර කටයුතු සදහා ඉදිරියෙදී කොටසින් කොටස නිදහස් කිරීමට නියමිතව ඇත. එමෙන්ම අද සිට මීගමුව කලපුවෙහි ධීවර කටයුතු සදහා බාධාවක් නොවන බව මෙම සාකච්ජාවේදී අනාවරණය කෙරිණි. එම නැවෙහි තෙල් හෝ රසායනික ද්‍රව්‍යයක් මෙතෙක් සාගරයට මුසු වී නොමැති බව නාරා ආයතනය හා පරමාණුක බලශක්ති අධිකාරිය විසින් තහවුරු කර තිබේ.  විශේෂයෙන් අදාළ ප්‍රදේශය දැනට තහනම් කළාපයක් ලෙස නම්කර ඇත්තේ නැවේ අබලි ද්‍රව්‍ය හේතුවෙන් ධීවරයින්ට, ධීවර යාත්‍රා වලට හා ආම්පන්න වලට හානි සිදුවිය හැකි බැවිනි.


ධීවර කටයතු සදහා ගැටළුවක් නොවීම සදහා වෙරළ හා සාගරය පිරිසිදු කිරීමේ කටයතු සිදු කරමින් පවතිනවා. එමෙන්ම මීගමුව කලපුව හා හැමිල්ටන් ඇළ පිරිසිදු කිරීමට කටයතු කරන බව ද මෙහිදී අනවාරණය විය. 
මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,නෞකාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගා සිටුවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා මේ සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ධීවර ජනතාවට සිය ධීවර වෘත්තියට යාමට නොහැකි වීම නිසා ඔවුනට සිදුවූ හානිය හේතුවෙන් ඉදිරියේදී වන්දි ලබා දීමේ කටයුතු සිදු කරනවා. එතෙක් ජීවනාධාර දීමනාවක් වශයෙන් රුපියල් පන්දහසේ දීමනාව අද සිට ලබා දෙන ලෙස අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ධීවර ආම්පන්න හා උපකරණ සදහා ස්ථාවර මිලක් නියම කිරීම සදහා පවතින කොවිඩ් වසංගත තත්ත්වය පහව ගිය පසු අදාළ ව්‍යාපාරික මහතුන් සමග සාකච්ජා කොට තීරණයක් ගන්නවා.


රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා,මාළු පරිභෝජනය නුසුදුසු බව මෙතෙක් විද්‍යානුකූලව තහවුරු කර නොමැති හෙයින් මාළු ආහාරයට ගැනීම සදහා ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. නැව මගින් සිදුවූ හානිය සදහා වන්දි ලබා ගැනීමේ කටයුතු අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇත. මාළු අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවක් පවතී නම් ඒවා මිලදී ගැනීමට ධීවර සංස්ථාව සෘජුව මැදිහත් වෙනවා. ඒ සදහා පැලියගොඩ මත්ස්‍ය වෙළදපොළ මෙන්ම, ධීවර වරායවල් 22 ක් සූදානම් කර තිබෙනවා. ඊයේ දිනය වන විට පෑලියගොඩ මතස්‍ය වෙළෙදපොළින් මාළු කිලෝ ග්රූම් 2000  කට ආසන්න ප්‍රමාණයක් හා අනෙකුත් ස්ථාන වලින් කිලෝ ග්රෑම් 9,000 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා. පවතින සංචරණ සීමා හමුවේ සිල්ලර වෙළදාම සිදු කළ නොහැකි වන අතර තොග හා ජංගම වෙළදාමට තහනමක් පනවා නැහැ. ධීවර වෘත්තිය හා බැදුනු කේෂ්ත්‍රයන් 23 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පීඩාවට පත්ව තිබෙනවා. ඔවන් සදහා මේ වන විට අහිමි වූ ආදායම් ගණනය කොට වන්දි ලබා දීමේ වැඩසටහන සදහා මූලික අධියර විදියට ඉදිරිපත් කර තිබෙනවා. ධීවර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට රජය කටයතු කරනවා.


ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබද සාකච්ජාව සාර්ථක වුනා. ධීවර ප්‍රජාවගේ ගැටලු රැසකට විසදුම් ලැබුනා. මාළු ආහාරයට ගැනීම වෙරළ ආසන්නයේ සිටින ජනතාව සිදු කළත් රට මැද සිටින ජනතාව මාළු ආහාරයට ගැනීම අඩුවෙලා තියෙනවා. මාළු ආහාරයට ගැනීම මේ වන විට කිසිදු ගැටළුවක් නැහැ කියන එක ධීවර අමාත්‍යාංශය පැත්තෙන් පැහැදිලිව පිළිතුරක් ලබා දුන්නා. ඒ නිසා ජනතාව මාළු ආහාරයට ගැනීමට අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. ඩීසල් හා භූමිතෙල් මිළ ඉහළ යාම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදු වූ නිසා ධීවර ජනතාවට ඇතිව තිබෙන ගැටළුවලට විසදුම් ලබා දෙමින් ධීවර ජනතාවට සහනයක් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය තුමා සමග සාකච්ජා කරලා ඉදිරියේදී අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. මීගමුව හා අනෙකුත් ප්‍රදේශවල ධීවර ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් පෙනී සිටිනවා. නැවෙන් වුන හානිය, ස්වාභාවික කුණාටු හා ගංවතුරෙන් වූන හානිය වගේම ලෝක වෙළපොලේ තෙල් මිල ඉහළ යාම නිසා ඇතිවූ බලපෑම නිසා රටේ නිෂ්පාදන හා ආර්ථික ක්‍රියාවලියට දායකත්වය දක්වන අයට විශාල ගැටළුවක් මේ නිසා ඇතිවෙනවා. එම නිසා අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය තුමා සමග සාකච්ජා කරලා ධීවර අමාත්‍යාංශයට යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහායෝගය ලබා දෙනවා.
මෙම අවස්ථාවට මීගමුව නගරාධිපති දයාන් ලාන්සා. ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු ප්‍රනාන්දු, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසුන්ත කහවත්ත,  මීගමුව පුාදේශීය ලේකම් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles