Saturday, January 11, 2025

එක දිගට දුක්බර ප්‍රවෘත්ති ඇසූ ජනතාවට ඇමති ගමිමන්පිල සතුටුදායක ප්‍රවෘත්තියක් කියයි

අතීතයේ ආණ්ඩු විසින් ඉන්දියාවට භාර දුන් අපේ වටිනා සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි යලි ලංකාවට ලබා ගැනීමට ඉන්දියාව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වූ බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

එය මෑත කාලයේ එක දිගට දුක්බර පුවත් ඇසූ ජනතාවට සතුටුදායක පුවතක් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

අද බලශක්ති අමාත්‍යාංශ මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ අදහස් පල කරන ලදි.

අතීතයේ ආණ්ඩු විසින් ඉන්දියාවට භාර දුන් අපේ වටිනා සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි යලි ලංකාවට ලබා ගැනීමට ඉන්දියාව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වුණා. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග පමණක් හවුලේ සංවර්ධනය කරන්න 1987 ජූලි 29 දා එකඟතාවයකට එළැඹුණා. එකඟතාවය නම් හවුලේ කරන්න. ඒත් එහි පවතින ටැංකි 99ම 2003 පෙබරවාරි 7 දා වසර 35කට ඉන්දියාවට බාරදීමක් සිදුන්නා. 2017 දී මලික් සමරවික්‍රම – සුෂ්මා ස්වරාජ් අවබෝධතා ගිවිසුමෙන් ලංකා අයිඕසී සමාගමෙන් තෙල් ටැංකි යම් ප්‍රමාණයක් අතුරු බදු ගැනීමට උත්සාහ කලත් ඒක සාර්ථක වුණේ නෑ.

අපේ එකඟතාවය අනුව ටැංකි 99න් 24ක් ලංකාණ්ඩුව විසින් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව 1987 දී ඉන්දියාව සමග හවුලේ සංවර්ධනය කරනවා කියා ඇති කර ගත් ගිවිසුමෙන් ටැංකි 24ක් සදහටම නිදහස් වෙනවා. දැනට ලංකා අයිඕසි සමාගම භාවිතා කරන ටැංකි 14 පමණක් ඒ සමාගමට වසර 50කට බදු දෙනවා. ඉතිරි ටැංකි 61 ඛනිජතෙල් සංස්ථාවට 51%ක් කොටස් තිබෙන ඉතිරි 49% ලංකා අයිඕසි සමාගමට ලැබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා.

මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. කොටස් බහුතරයක් සංස්ථාවට තිබෙනවා වගේම අධ්‍යක්ෂවරු හත්දෙනාගෙන් 4ක්ම පත් කරන්නේ තෙල් සංස්ථාව. සභාපතිවරයා පත් කරන්නේත් තෙල් සංස්ථාව. ඒ වගේම විගණකාධිපති ගිණුම් විගණනය කරන කෝප් කමිටුවට සමාගමේ නිලධාරින් කැඳවිය හැකි මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවේ දී සමාගම පිලිබඳ ප්‍රශ්න කල හැකි සමාගමක් ලෙසයි මේ සමාගම ස්ථාපිත වන්නේ.

තෙල් සංස්ථාවට සෘජුව ලබා ගන්නා ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගමට පැවරෙන ටැංකි 61 සමග තෙල් ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව සතු වෙනවා. ලංකා අයිඕසි සමාගමට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි. 1987 සහ 2003 දී ගිවිසුම් මගින් ඉන්දියාවේ පාලනයට නතු කරගත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ පාලනයට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක්.

දැනට දිරාපත් වෙමින් තිබෙන ඉහල ටැංකි සංකීර්ණයේ ටැංකි 10ක් අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට 2016 දෙසැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගන්නවා. ඒ තීරණය අනුව 2016 දෙසැම්බර් 29 දින තෙල් සංස්ථාවේ මෙහෙයුම් කලමනාකරු මේනක ජීවසිරි මහතා ඇතුළු නිලධාරින් පස්දෙනෙකු ටැංකි පරික්ෂා කිරීමට ලංකා අයිඕසි සමාගමට දැනුම් දී ටැංකි සංකීර්ණයට ඇතුළු වෙනවා. ඒ අවස්ථාවේ දී ලංකා අයිඕසී සමාගමේ නිලධාරින් විසින් තෙල් සංස්ථාවේ නිලධාරින් අයුතු ඇතුළුවීමක් කළා කියලා මේ අයව බලහත්කාරයෙන් රඳවා ගන්නවා. ඒ වගේම අයුතු ඇතුළුවීමක් ගැන ඉන්දියාව ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අප්‍රසාදය පල කරනවා.

ඒ අඳුරු අතීතය අපි නුදුරු දිනක අවසන් කරනවා. 2016 දී හිරිහැරයට ලක් වුණු නිලධාරින් පස්දෙනා සමග නුදුරු දිනක අපි තෙල් ටැංකි සංකීර්ණයට ගිහින් අපේ ජාතික කොඩිය ඒ භූමියේ ඔසවන්න අපි බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ එක දිගට දුක්බර ප්‍රවෘත්ති අසමින් සිටි අපේ රටේ ජනතාවට සතුටුදායක ප්‍රවෘත්තියක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.

– Media Unit

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles