Sunday, December 22, 2024

තවත් ගැසට්ටුවක් රිවර්ස්…! ‘එක් රටක් එක් නීතියට’ තවත් අය එක්වේ..

එක රටක් – එක නීතියක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායට අදාල ගැසට් නිවේදනය යළි සංශෝධනය කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 වනදා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන්ව තිබුණේ “එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙම කාර්ය සාධක බලකායේ කාර්යය වන අතර ඊට අදාළ සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට ඒවා ඇතුළු කිරීම අධිකරණ අමාත්‍යාංශයේ කාර්යයක් වන බවටයි.

නමුත් නොවැම්බර් 06 දිනැතිව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් එම කාර්ය සාධක බලකායේ කාර්යය සංශෝධනය කර ඇති අතර එහි ඇත්තේ එක රටක් එක නීතියක් සංකල්පය පිළිබඳ විවිධ පාර්ශ්ව දරණ අදහස් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ආවේණික සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණක් එම කාර්ය සාධක බලකායට පැවරී ඇති බවය.

ඒ අනුව පනත් කෙටුම්පත් සකස් කිරීමේ බලය එම ජනාධිපති කාර්ය සාධක බලකායෙන් පැහැදිලිවම ඉවත් කර තිබෙනවා.

මෙසේ අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර්යයක් වන පනත් කෙටුම්පත් සකස් කිරීම ඥානසාර හිමිගේ කාර්ය සාධක බලකායට පැවරීම පිළිබඳව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය දැඩි විරෝධය පළකර තිබුණු අතර ඒ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව වාර්තා වී තිබුණා. නව සංශෝධිත ගැසට් නිවේදනය අනුව පෙන්නුම් කෙරෙන්නේ අලි සබ්‍රි මහතා සිය සටනින් ජයගෙන ඇති බවයි.

මෙි අතර “එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකාය සඳහා නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර තිබේ.

එම සාමාජිකයන් තිදෙනා පත්කර ඇත්තේද කාර්ය සාධක බළකායේ බලතල සීමා කරමින් ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය මගිනි.

ඒ අනුව, නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්, අයියාම්පිල්ලෙයි දයානන්ද රාජා සහ යෝගේෂ්වරී පද්ගුණරාජා පත් කර ඇති බව සඳහන්.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් නිකුත්කර ඇති අතර මෙහිදී එම කාර්ය සාධක බලකාය සඳහා පවරා ඇති කාර්යයන් ද සංශෝධනයට ලක්කර තිබේ.

පෙර ගැසට් පත්‍රයේ සදහන් ව තිබූ පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවට “යෝජනා ඉදිරිපත් කිරීම”පමණක් පවරා තිබෙනවා.. බලකායට මෙම දමිළ නියෝජිතයන් තිදෙනෙකුත් ඇතුලත් කර තිබෙනවා..

ඒ අනුව එම ජනාධිපති කාර්ය සාධක බළකායේ සංයුතිය සාමාජිකයින් 14 දෙනෙකු දක්වා ඉහළ යනු ඇති.

මෙම කාර්ය සාධක බලකාය සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මකයි.

නිකුත් කර ඇති නව ගැසට් පත්‍රයට අනුව මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි සංශෝධනය කිරීමකට ලක් කර ඇති බවද අදාළ නව ගැසට් පත්‍රයේ දැක්වෙනවා. ඒ අනුව “එකම රටක්, එකම නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් හා මතයන් සැලකිල්ලට ගනිමින් එම සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඉතා සුදුසු සංකල්පීය රාමුවක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම යෝජනා කර තිබෙි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මස 26 වන දින එම කාර්යය සාධක බළකාය මුලින්ම පිහිටුවනු ලැබුවා. එහි ප්‍රධානත්වය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් දරණු ලබන අතර ආරම්භයේදී සාමාජිකයින් 13 දෙනෙකු කටයුතු කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles