Sunday, January 12, 2025

එජාප මන්ත්‍රී ඉදිරිපිට සතොස රියෑදුරුට අමානුෂික ප්‍රහාරයක්‌

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ඉදිරිපිටදී ඔහුගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් ඊයේ (12 දා) දහවල් කැකිරාව පොලිසිය අසලදී සතොස ආයතනයේ රියෑදුරකුට අමානුෂික ලෙස පහර දී ඇත.

චන්දිම ගමගේ මහතා මෙම පහරදීමට සම්බන්ධ වී නැති අතර ඒ මහතා තමන්ට ඉතාම පහත් අන්දමින් බැණවැදී තර්ජනය කළ බව පහරකෑමට ලක්‌වූ රියෑදුරු කැකිරාව පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙහිදී පහරකෑමට ලක්‌ වූ 39 හැවිරිදි සමන්තිලක නමැති රියෑදුරු කැකිරාව රෝහලින් දඹුල්ල රෝහලට මාරු කර ඇත.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථයට නලාව නාද කළ බව කියන සිද්ධියක්‌ මුල් කරගෙන මෙම පහරදීම සිදුවී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

පහරදීමට සම්බන්ධ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් තිදෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

පහරකෑමට ලක්‌වූ සතොස රියෑදුරු ‘දිවයින’ ට මෙසේ කියා සිටියේය.

ගලෙන්බිඳුණුවැව ඉඳලා බඩු වගයක්‌ පටවාගෙන මම කැකිරාව සතොසට යන්න ලොරියේ ආවේ. කැකිරාව පොලිසිය ආසන්නයේ පාර අයිනෙ ජීප් රථයක්‌ නතර කරලා තිබුණා.

මම ඒ ජීප් එකට හෝන් කළා. මොකද ඒ ජීප් එක නිසා මට ලොරිය හරවා ගන්න බැරි තත්ත්වයක්‌ තිබුණේ.

ඒත් එක්‌කම ජීප් රථයෙන් බැහැලා ආව චන්දිම ගමගේ මන්ත්‍රීතුමයි එයාගෙ ආධාරකාරයොයි අමු තිත්ත කුණුහරුපෙන් මට බැන්නා. මන්ත්‍රීතුමා මට ගහන්න ලොරියට ගොඩවෙන්න හැදුවා.

ඒ වෙලාවෙ එයාගෙ ආධාරකාරයෝ මන්ත්‍රීතුමාව බිමට බස්‌සවලා ඒ අය ලොරියට නැගලා මම වටකරගෙන ගැහුවා. මගේ ගෝලයගෙ ඔළුවටත් බෝතලයකින් ගැහුවා. මට කෙළින් හිටගෙන ඉන්න බැහැ. ඇදගෙන වැටෙන්න යනවා. ඒ නිසා මම කැකිරාව පොලිසියේ පැමිණිල්ලක්‌ කරලා රෝහල්ගත වුණා.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔවුන් අද (13දා) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර නොගතහොත් හෙට (14දා) දින සතොස සියලුම සේවකයන් වැඩ වර්ජනයක නිරත වන බව ශ්‍රීලංකා නිදහස්‌ සතොස සේවක සංගමයේ සභාපති ඔමල් සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය.

කැකිරාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles