Monday, January 13, 2025

එන්නත් ලබාගැනීමට අපේක්ෂා රෝහලට පැමිණෙන පිරිසට නිවේදනයක්

ෆයිසර් එන්නත ලබාදුන් පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් ට කිසිදු සංකූලතාවයක් හෝ ආසාත්මිකතාවයක් වාර්තා වී නොමැති බව ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය පැවසුවාය.

ඒ, මහරගම අපේක්ෂා රෝහලේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පිළිකා රෝගයන්ගෙන් පෙළෙන වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන් වෙත කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීම මහරගම අපේක්ෂා රෝහලේදී පසුගිය 04 වැනිදා සිට ආරම්භ විය.

ඒ අනුව දරුවන් 60කට පමණ මේ වන විට එන්නත ලබාදී ඇතැයි ද ඇය සඳහන් කළාය.

ඉතා සාර්ථකව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියෙන් එම එන්නත් ලබාදීම සිදුවන හෙයින් දරුවන්ට එන්නත ලබාදීමට දෙමාපියන් බියවිය යුතු නැතැයි ද විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

විශේෂයෙන් එම දරුවන් රෝහලේ සායන සහ පරීක්ෂණ සඳහා නිතර පැමිණෙන හෙයින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම එන්නත ලබා දෙන අතර දරුන්වගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයකින් එම දරුවන්ගේ දෙමව්පියන් වෙත මීට පෙර සයිනෝෆාම් එන්නත ලබා දුන් බව ඇය සඳහන් කළාය.

”අපේක්ෂා රෝහලේ දරුවන් වෙත මෙම එන්නත් දීම වේගයෙන් ක්‍රියාත්මක නොවෙන්නේ අම්මලා තාත්තලාගේ බිය නිසා. බිය වෙන්න දෙයක් නැහැ. විශේෂඥ වෛද්‍ය අනුමැතියෙන් පමණයි අපි දරුවන්ට එන්නත් එන්නේ. ඒ නිසා එන්නත් ලබා ගන්න. රටේ හැම තැනින්ම අපේ රෝහලට දරුවෝ ප්‍රතිකාර සඳහා එනවා. පිට පළාත්වල ඇතැම් දරුවෝ එම පළාත්වල රෝහල්වලින් එන්නත ලබා ගෙන තිබුණා. කිසියම් හෝ හදිසි අවස්ථාවක් ආවොත් එම ප්‍රතිකාර සඳහාත් අපට වෙනම කණ්ඩායමක් ඉන්නවා. සතියේ දිනවල් පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා අපේක්ෂා රෝහලේදී මේ ෆයිසර් එන්නත ලබාදෙනවා. කිසිම පෝලිම් තත්ත්වයක් නැහැ. පැමිණ එන්නත ලබා ගත හැකියි. ”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles