Monday, September 23, 2024

ඒකාබද්ධ විපක්ෂයේ මුට්ටිය දමා බැලීම

28වැනිදා පා ගමනේ අරමුණ අලුත් පක්ෂයක් සාදා ගැනීම සඳහා ජනතාව ඔවුන් සමග සිටීද යන්න සොයාබැලීමට මුට්ටිය දමා බැලීමක් යැයි ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

එම පාගමන ආණ්ඩුවට විරුද්ධව යන බව පැවසුවත් ආණ්ඩුවේ නායකයා ජනපති මෛත්‍රිපාල සිරිසේන බැවින් එය විහිළුවක් යැයිද ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වාදුන්නේය.

ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන්ද පරාජයට පත්වී පළාත් පාලන මැතිවරණයක් කඩිනමින් ඉල්ලා සිටින එම පිරිස පරාජයට හේතු නොසොයා කඩිනමින් මැතිවරණයක් ඉල්ලීමෙන් සිදුවන්නේ තවදුරටත් පක්ෂය දෙකඩ වීම බවද ඒ මහතා කියා සිටියේය.

පක්ෂය කඩාගෙන ගිය පිරිසට නැවත පක්ෂයටම එන්න වූ බවට අතීතයේ සාක්ෂි ඕනෑ තරම් ඇතැයිද ඔහු එහිදී පැවසුවේය.

මාධ්‍ය හමුව ඇමතු දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ඇති සුළු ජාතිකයින්ගේ කැමැත්ත මහින්ද රාජපක්ෂට නොමැති කමින් ඔහු මැතිවරණය පරාජය වූ බවයි.

ශ්‍රීලනිපයේ දැන් හටගෙන ඇති අර්බුදය නිසා පිරිසකට එය “වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්ලු” තත්ත්වයට පත්ව ඇති බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුව ඇමතු මල්ෂා කුමාරතුංග මහත්මිය කියා සිටියේ 28 පා ගමන නිසා ශ්‍රීලනිපය දෙකඩ වීමක් සිදුවන බවයි.

ඇතැමුන් පා ගමනට යන්නේ දැයි අසන බවද පැවසූ ඇය එමඟින් සිදුවන්නේ පක්ෂයට හානියක් යැයි පෙන්වාදුන්නාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles