සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් පීඩනය බියුටෙින් පීඩනය මෙන් 4 ගුණයක් බවය.
“ගැස් පුරවලා ගේන සිලින්ඩරය බොහොම ශක්තිමත්. හැබැයි සිලින්ඩරයකට සවිකරන වෑල් එකයි, වෑල් එක උඩින් ඇති රෙගියුලේටරයයි.. ඒවා කොයි විදිහට ඩිසයින් කරලා තියෙනවාද කියලා අපි බලන්න ඕනේ.”
“දැන් සිලින්ඩරයේ වෑල් එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රොපේන් 30යි බ්‍යුටේන් 70ට නම් ඒකට අපි ප්‍රොපේන් 30ට වැඩිය දැම්මොත් ඒ වෑල් එකට ඔරෝතතු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බ්‍යුටේන් පෙෂර් එක අඩුයි. හැබැයි ප්‍රොපේන් පෙෂර් එක ඒවාගේ 4ගුණයක්. ඉතින් ඒ පීඩනයට ඔරොත්තු දෙනවාද? ඒ වෑල් එක.”
“ඊළඟට රෙගියුලේටරය.. ඒවා චෙක් කරන්න තියෙන ආයතනවල ප්‍රමිතියට හදලා තියෙනවායි කියලා කියනවා. ඒවා ක්‍රියාත්මක වෙනවාද? මම දැක්කා මේ මෑතකදී මහජනතාව රූගත කරලා එනවා.. සිලින්ඩරයෙන්ම ලීක් වෙනවා. එතන වැරැද්ද තියෙන්නේ වෑල් එකේ නේද? එතකොට අපි ඒ ගැන බලන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ ඇයි වෑල් එකෙන් ලීක් වෙන්නේ. පීඩනයේ තමයි මෙතන ප්‍රශ්නය. එතකොට පීඩනය ඇතිවෙන්නේ සංයුතිය වෙනස් වුණොත් විතරයි.”
“දැන් පාරිභෝගිකයන්නට පුළුවන් ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් සබන් ටිකක් දාලා බලන්න. මේක ලීක් වෙනවාද කියන එක. ඒකෙ ලීක් එකක් තිබුණොත් ගේ ඇතුළට ගන්න එපා. ආපසු ගිහින් බාරදෙන්න ගත්ත තැනට. නැත්නම් ඒ ගත්ත තැනට කෝල් කරලා කියන්න. ඊළඟට රෙගියුලේටරයත් මාරු කරන්න. හැබැයි හොඳ එකක් ගන්න. ඊට පස්සේ බටෙත් හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද මේක අපි ප්‍රතික්ෂේප කළොත් ජීවිත හානියක් වෙන්නත් පුළුවන්.”
මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති ගෑස් සිලින්ඩරවල පිපිරීම්වලට හේතුව සොයා මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙයි.
මෙලෙස මෑත කාලයේ ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ගැන අසන්නට ලැබෙන්නේ ගෑස් සිලින්ඩරවල වායු සංයුතියේ වෙනස්කම් සිදුකර ඇති නිසා බවට ද විවිධ මත පළවෙයි.
ඔවුන් පවසන්නේ ප්‍රොපේන් 30% ක් පමණ සහ බියුටෙින් 70% ක් වශයෙන් පැවති ශ්‍රී ලංකාවේ LP ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50% ක් සහ බ්‍යුටේන් 50% ක් ලෙස වෙනස් කර ඇති බවය.
කෙසේවෙතත් වායු සංයුතියේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බව ලිට්‍රො සහ ලාෆ්ස් යන ගෑස් සමාගම් දෙකම අවධාරණය කරයි.