අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ විදෙස් ජාතිකයෙක්, කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ගුවන්තොටුපොළෙන් පිටතට දිව ගොස් ඇතැයි වාර්තා වේ.
ගුවන් තොටුපොළ වහලය ට නැග අදාළ විදේශිකයා දිව යමින් සිටිය දී, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව විදේස් ජාතිකයා ඊයේ (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
35 හැවිරිදි මෙම පුද්ගලයා පෝලන්ත ජාතිකයෙකු බවත් ඔහු 2019 වසරේ දී වැලිගම ප්‍රදේශයේ ඒ ටී එම් යන්ත්‍රයක් කඩා මුදල් සොරකම් කිරීමක් පිළිබඳව චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු බවත් මූලික විමර්ශන වලදී අනාවරණ වී ඇතැයි සඳහන්.
මෙම විදේශිකයා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම විදේශිකයා, අද අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සඳහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
අලුයම 01.00 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි එම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව විගමන කවුළුව වෙත පැමිණියේ, තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමටය.
එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
ඒ අතරතුර විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටියදී , එකවරම ඔහු හිඳගෙන සිටි පුටුවෙන් නැඟිට, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව ගොස් ඇත.
විදේශිකයා, එකවරම අසල ඇති තාප්පයකට නැග, එයින් ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග, ඒ මත සැඟවී සිටින්නට වී තිබේ.
පසුව ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි, ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් වහාම විදේශිකයා වහළයේ සැඟවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කර තිබේ.
මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ සැක පහළ කරති.
අත්අඩංගුවට පත් විදේශිකයා මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ.