Saturday, January 11, 2025

කබ්රාල් ඉවත් කරන්නැයි ඉල්ලා මනුෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ඔහු මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නිතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වගඋත්තරකරුවන් බවට පත් කර තිබුණි.
මහ බැංකුවේ පවතින ආචාර ධර්ම පද්ධතියට අනුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක්ට අධිපති ධූරයට පත්විය නොහැකි බවද, එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලනයට සෘජුව සම්බන්ධ පුද්ගලයෙක් බවද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පවසයි. ඔහු 1999 වසරේදී එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරි පත්වූ බවද 2004 වසරේදී අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙක් ලෙස පත්ව පසුව සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ධූරයට පත්වූ බවද පෙත්සමේ සදහන් වේ.
ඉන් පසුව මහ බැංකු අධිපතිධූරයට පත්ව මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේදීම එම තනතුරින් ඉල්ලා අස්වූ බවද එමගින් ඔහුගේ දේශපාලන බැදියාවන් පෙන්නුම කරන බවද පෙත්සමේ දැක්වේ. පොදුජන පෙරමුණ පිහිටුවන අවස්ථාවේ ආරම්භක සාමාජිකයෙක් වූ ඔහු එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආමාත්‍ය ධූරය දැරූ බවත්, එම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ දිනම රාත‍්‍රියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් පෙත්සමේ දැක්වේ.
බැදුම්කර වංචාව සම්න්ධයෙන් පැවැත්වූ ව්‍යෝහාරික විගණනවලදී අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් විමර්ශණ කර ඇති බවද, බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඔහුගේ සහෝදරියක් වන ශිරෝමි නොයෙල් වික‍්‍රමසිංහ කටයුතු කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ දැක්වේ. ඒ අතරම මහ බැංකුව සමග බැදුම්කර ගනුදෙනු සිදුකරන ලංකා බැංකුව හා එච්.එන්.බී. ඇෂුරන්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඇය කටයුතු කර ඇති බවද පෙත්සමේ දැක්වේ.
ලංකාවේ ප‍්‍රතිරූපය වර්ධනය කිරීම සදහා ඇමරිකාවේ සිටින සුබේර් නම් පුද්ගලයෙක්ට ඩොලර් මිලියන 6.5ක මුදලක් ලබාදී ඇති බවද එම මුදල ලබාදීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවද එමගින් අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක මුදලක් රටට අහිමි කර ඇති බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමේ සදහන් වේ.
මෙවැනි පුද්ගලයෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු විධායකය ගත් තීරණය මගින් තමන්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන අතර ඒ නිසා අජිත් නිවාඩ් කරාල්ගේ පත්වීම බල රහිත කරන ලෙස මනුෂ නානායක්කාර මනත‍්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සදුන් ගමගේ, චරිත් ගල්හේන, වාසනා හේවගේ, සමින්ද ජයසේකර, අංජලී පෙරේරා පෙනී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles