Saturday, September 21, 2024

කබ්රාලුත් මහ බැංකුව සුද්ධ කරන ලකුණක්

සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) මුදල් කොළඹ කොටස් වෙළඳපොලේ යෙදවීමෙන් රුපියල් කෝටි 900කට අධික අලාභයක් සිදු කිරීමේ ප්‍රධාන චූදිතයා වී සිටින අජිත් නිවාඩ් කබ්රාල් යළිත් මහ බැංකු අධිපති ලෙසින් පත්කිරීමෙන් එම අරමුදලේ මුදල් අත්තනෝමතික ලෙස ආණ්ඩුවේ කටයුතු සඳහා යොදවා ගැනීමේ දැඩි අවදානමක් නිර්මාණය වී තිබෙන බව වෘත්තීය සංගම් අනතුරු අඟවයි.

මෙයට පෙර කබ්රාල් මහ බැංකු අධිපති ලෙසින් සිටියදී අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලට යෙදවීමෙන් සිදුකර තිබෙන අලාභය රුපියල් කෝටි 900කට අධික බව වෝහාරික විගණන වාර්තාවෙන් තහවුරු වී ඇත. අර්ජුන් මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහ පාලනය එකතුව සිදුකළ බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මෙම වෝහාරික විගණන පරීක්ෂණය සිදු කෙරිණි.

එම වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් 2020 පෙබරවාරි 18 සහ 19 යන දෙදින පැවැත්විනි. එවකට කෝප් කමිටුවේ සභාපතිව සිටි සුනිල් හඳුන්නෙත්ති එම විවාදයේදී අවධාරණය කර තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ බැඳුම්කර කොල්ලය පිළිබඳව හෝ අධිකරණය ඉදිරියේ නඩු පවරණ ලෙසය. නමුත් එසේ නඩු පැවරුවහොත් මුළු වෝහාරික විගණන වාර්තාවම අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කෙරී අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන් මහේන්ද්‍රන් යන දෙදෙනාම චූදිතයන් වීමට ඉඩ තිබිණ. මේ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මාර්තු මස දෙවෙනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ ය.

එයට පෙර අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ බැඳුම්කර වංචාව පිළිබඳව ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ ය.

මුල්‍ය ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක් මතුවී තිබුණ ද, අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස අත්තනෝමතිකව පත්කර එවන්නේ ආණ්ඩුව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ අර්ථ සාධක අරමුදලේ මුදල් රිසි සේ පරිහරණය කිරීමට බව වෘත්තීය සමිති බියට පත්වී ඇත. මෙම අරමුදලේ ශේෂය 2020 අවසන් වන විට රුපියල් කෝටි 282,430 වී තිබිණි. අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති වශයෙන් සිටි මුල් අවස්ථාවේ 2009 වර්ෂයේදී එම අරමුදලෙන් රුපියල් කෝටි 980ක් කොටස් වෙළඳපොලට යොදා තිබුණු අතර 2010 වසර තුළ එය රුපියල් කෝටි 4,370ක් දක්වා ඉහල දමා තිබිණි.

True News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles