Sunday, September 22, 2024

කළු සල්ලි සුදු කිරීමට එරෙහිව මහ බැංකුව ක්‍රියාත්මක වේ

කළුසල්ලි සුදු කිරීම වැළැක්වීම ත්‍රස්තවාදයට මුදල් සැපැයීම මැඬපැවැත්වීම සහ සමූල ඝාතක අවි ගනුදෙනු වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය මහත් උනන්දුවකින් කටයුතු කරමින් සිටියි. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපැයීම මැඬපැවැත්වීමට අදාළ ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධක බළකායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, එහි මුල්‍ය බුද්ධි ඒකකය දක්වන අනුකූලතා පිළිබඳව ලියැවෙන ලිපියකි මේ.

ත්‍රස්තවාදයට මුදල් සැපැයීම මැඬපැවැත්වීම ප්‍රධාන නීතිවිරෝධී මුල්‍ය ගනුදෙනු නතර කිරීම සම්බන්ධයෙන් නීතිරීති සම්පාදනය කොට ලොව පිළිගත් ආයතන රාමුවකට අනුකූලව කටයුතු කිරීමට ලෝක නායක අවධානය මුලින් ම යොමු වූයේ 1989 වසරේදීය. ඒ එම වසරේ ජී – (G) – 7 රටවල නායක සමුළුවේදීය.

1989 වසරේ දී G – 7 රටවල් එක්වී අන්තර් රාජ්‍ය ආයතනයක් ලෙස පිහිටුවන ලද මූල්‍ය කාර්ය සාධක බළකාය මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සහ සමූල ඝාතක අවි මූල්‍යනය කිරීම වැළැක්වීම වෙනුවෙන් වූ ජාත්‍යන්තර සම්මුතීන් රැසක් 1990 වසරේ සිට හඳුන්වා දී ඇත. 2012 වසරේ දී මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන් කාලානුරූපීව අදාළ කරගැනීම සඳහා සංශෝධනය කරන ලදී. දේශීය මූල්‍ය පද්ධතිය අපරාධ ක්‍රියා සඳහා යොදාගැනීමට ඇති අවදානම අවම කිරීමට සහ ගෝලීය මුල්‍ය පද්ධතිය සමඟ පහසුවෙන් සම්බන්ධතා ගොඩනැඟීම උදෙසා ලෝකයේ සෑම රටක්ම මෙම ජාත්‍යන්තර සම්මුතීන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලතාව දැක්වීමේ වැදගත්කම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ යාන්ත්‍රණය දුර්වල වීම තුළින් මූල්‍ය ආයතනවල සහ මූල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය හා ස්ථාවරභාවය අඩපණවන අතර විදේශ ආයෝජන අධෛර්යමත්වීමත් අන්තර්ජාතික වශයෙන් සිදුවන ප්‍රාග්ධන හුවමාරුවීම් අසාමාන්‍ය ලෙස වෙනස්වීමත් සිදුවේ. අනෙක් අතට ශක්තිමත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ යාන්ත්‍රණයක් තුළින් රටකට විවිධාකාරයේ ප්‍රතිලාභ රැසක් අත්කරගත හැක.

මුදල් විශුද්ධිකරණ

මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳව ඉහළ අවදානමක් සහිත රටවල්වල ස්ථාපිත ආයතන සහ ගනුදෙනුකරුවන් සමඟ ව්‍යාපාරික හෝ වෙළඳපොළ සබඳතා ඇතිකර ගැනීමට ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරන මූල්‍ය ආයතන මැළිකමක් දක්වයි. ඒ අනුව, රට තුළ ශක්තිමත් සහ කාර්යක්ෂම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ යාන්ත්‍රණයක් පවතින විට මූල්‍ය ආයතනවලට තම විදේශීය හවුල්කරුවන් සමඟ පවතින සම්බන්ධතාවන් පුළුල් කර ගැනීමේ හැකියාව ඇති වේ.

රටක් වශයෙන් හෝ ආයතන වශයෙන් වඩාත් දියුණු මුල්‍ය මධ්‍යස්ථාන සමඟ සබඳතා ගොඩනගා ගැනීමට හැකිවීම තුළින් විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් ගෝලීය ගෙවීම් / පියවීම් පද්ධතියට වඩාත් සක්‍රීයව සම්බන්ධ වීමටත් අවස්ථාව හිමිවේ.

ඵලදායී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ පාලනයක් මූල්‍යමය විනිවිදභාවය සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමට උපකාරී වන නෛතික, නියාමන හා ආයතනික රාමුවක් රට තුළ ස්ථාපනය කිරීමට ඉවහල් වනු ඇත. ඊට අමතරව ශක්තිමත් සහ මනා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ යාන්ත්‍රණයක්, අපරාධ සහ දූෂණ ක්‍රියාවට එරෙහිව කටයුතු කිරීමේ පුළුල් ප්‍රයත්නයේ කොටසක් ලෙස සැලකිය හැක.

ගනුදෙනුකරු පිළිබඳව සුපරීක්ෂාකාරීවීම, මූල්‍ය ගනුදෙනුවක ප්‍රතිලාභී අයිතිකරුවන් හඳුනාගැනීම, සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීම ආදී වූ ඵලදායී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන නීතිවිරෝධී ක්‍රියාවක් වන බදු පැහැර හැරීම අවම කර ගැනීමට ද හැකියාව ලැබේ.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලතාවය දැක්වීම මැන බැලීම මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් තම සාමාජිකයන් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලතාවය දැක්වීම සමාලෝචනය කිරීම සඳහා නිරන්තරයෙන් ඇගයීම් සිදුකරනු ලැබේ.

මූල්‍ය කාර්ය සාධක බළකාය

වර්තමානයේ මෙවැනි වූ ඇගයීම් මූල්‍ය කාර්ය සාධක බළකායට සමගාමීව පිහිටුවා ඇති කලාපීය නිරීක්ෂණ සංවිධාන විසින් සිදු කෙරේ. මේ වනවිට මූල්‍ය කාර්ය සාධක බළකායට සමගාමීව ක්‍රියාත්මක වන කලාපීය නිරීක්ෂණ සංවිධාන නවයක් මගින් ඒ ඒ කලාපයට අදාළ සාමාජික රටවල ඇගයීම් සිදුකරනු ලබන අතර මෙවැනි අනෙකුත් සාමාජිකයන් විසින් කරන ඇගයීම් අන්‍යොන්‍ය ඇගයීම් ලෙස හඳුන්වනු ලැබේ.

මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් හඳුන්වා දෙන ලද නිර්දේශයන් 2012 වසරේ දී සංශෝධනය කළ අතර අන්‍යොන්‍ය ඇගයීමේ ක්‍රමවේදය ද සංශෝධනයන්ට ලක්කරන ලදී. ඒ අනුව, මූල්‍ය කාර්ය සාධක බළකාය 2013 වසරේ හඳුන්වා දෙනු ලැබූ අන්‍යොන්‍ය ඇගයීමේ ක්‍රමවේදය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය.

සැපයීම වැළැක්වීමේ අනුකූලතා මට්ටම

තාක්ෂණික අනුකූලතාව: රට තුළ පවතින නෛතික සහ ආයතනික රාමුවෙහි අදාළත්වය සහ මූල්‍ය කාර්ය සාධක බළකායේ නිර්දේශයන් 40 සමඟ අනුකූල වීම සඳහා නිසි බලධරයන් සතු බලතල සහ අදාළ ක්‍රියාපටිපාටින්හි තත්ත්වය ඇගයීම. සඵලදායීත්වය: අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම සඳහා නෛතික හා ආයතනික රාමුවට ඇති හැකියාවේ ප්‍රමාණය ඇගයීමකි. සඵලදායිත්ව ඇගයීම මූල්‍ය කාර්ය සාධක බළකා‍යේ ඇගයීම් ක්‍රමවේදයේ දැක්වෙන ප්‍රතිඵල 11ක් මත පදනම් වේ.

ශ්‍රී ලංකාව 1997 වසරේ ස්ථාපනය කරන ලද, ආසියා සහ ශාන්තිකර කලාපයට අයත් මූල්‍ය කාර්ය සාධක බළකායට සමගාමීව පිහිටුවා ඇති කලාපීය නිරීක්ෂණ සංවිධානය වන, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ රීතිවලට අනුව ශ්‍රී ලංකාව සෑම වසර හයකට වරක් එම කණ්ඩායම විසින් සිදුකරනු ලබන අන්‍යොන්‍ය ඇගයීමකට මුහුණ දීමට බැඳී සිටී.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය පිහිටුවීමත් සමඟම මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම ශ්‍රී ලංකාව පිළිබඳ සිය පළමු ඇගයීම 2006 වසරේදී සිදුකරන ලදී. එම අන්‍යොන්‍ය ඇගයීම් වාර්තාව මඟින් හඳුනාගත් අඩුපාඩු නිවැරදි කිරීම සඳහා නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරන ලද අතර අණ පනත් සංශෝධනය කිරීම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම වැනි නිර්දේශයන් ද ඊට ඇතුළත් විය. 2013 වසර වන විට පළමු අන්‍යොන්‍ය ඇගයීම් වාර්තාවේ නිර්දේශයන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ දෙවන අන්‍යොන්‍ය ඇගයීම ඔස්ට්‍රේලියාව, භූතානය, හොංකොං, මලයාසියාව, සිංගප්පූරුව යන රටවල මූල්‍ය බුද්ධි ඒකකයන්හි හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ලේකම් කාර්යාලයෙහි නියෝජනය අධීක්ෂණ කණ්ඩායමක් විසින් 2014/2015 අතර කාලයේදී සිදුකරන ලදි. මෙම අන්‍යොන්‍ය ඇගයීම් වාර්තාව 2015 ජූලි මස නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී පැවති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 18 වන වාර්ෂික සමුළුව සහ තාක්ෂණික සහයෝගීතා සැසියේදී සම්මත කරගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික අනුකූලතාවය, නිර්දේශ 40 අතරින් නිර්දේශ 12ක් අනුකූල හෝ බොහෝදුරට අනුකූල ලෙස වර්ගීකරණය කරන ලද අතර සඵලදායී මට්ටම ඇගයීමේදී ප්‍රතිඵල 11 න් 2 ක් බොහෝදුරට සඵලදායී හා සාමාන්‍ය මට්ටමට සඵලදායී ලෙස වර්ගීකරණය කර ඇත.

අනුකූලතා මට්ටම ඉහළ දැමීම සඳහා ගෙන ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග

අන්‍යොන්‍ය ඇගයීම් වාර්තාවේ දක්වා ඇති අඩුපාඩු වලට ප්‍රතිචාර ලෙස මූල්‍ය කාර්ය සාධක බළකායේ නිර්දේශවලට අනුකූලතාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව ක්‍රමවත් සහ ශක්තිමත් පියවර රාශියක් ක්‍රියාත්මක කරන ලදී,

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපැයීම මැඬපැවැත්වීම ජාතික ප්‍රතිපත්ති 2015 – 2020 කැබිනට් අනුමැතිය සහිතව සම්මත කිරීම. එක් එක් පාර්ශ්වකරුවන් විසින් ක්‍රියාත්ම කළ යුතු ආයතනිකමය ක්‍රියාකාරී සැලැස්ම කැබිනට් අනුමැතිය සහිතව හඳුන්වා දීම.

2016 අංක 1 දරන ගනුදෙනුකරු පිළිබඳව සුපරීක්ෂාකාරීවීමේ රීති 2016 ජනවාරි 27 දින නිකුත් කිරීම. මෙම රීති 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ දක්වා ඇති මූල්‍ය කටයුතු වල යෙදෙන සියලුම ආයතන ආවරණය වන ලෙස හඳුන්වා දී ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා වන අවදානම මත පදනම් වූ නියාමනයන් හඳුන්වා දීම.

මූල්‍ය වටිනාකම් හුවමාරුකිරීමේ සේවාවන් සපයන ආයතන වෙත මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ උපදෙස් මාලාවක් නිකුත් කිරීම.

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නඩු පැවරී‍ෙම් සහ විමර්ශන පැවැත්වීමේ හැකියාවන් වැඩ දියුණු කිරීම. විමර්ශන සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය බුද්ධිමය තොරතුරු හුවමාරුකර ගැනීම අරමුණින් දේශීය ආයතන සහ විදේශීය මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අව‍‍බෝධතා ගිවිසුම් අත්සන් කිරීම.

පසුවිපරම් ක්‍රියාවලිය

ශ්‍රී ලංකාව පිළිබඳ අන්‍යොන්‍ය ඇගයීම් වාර්තාව 2015 වස‍ෙර්දී සම්මත කරගැනීමෙන් අනතුරුව ‘කඩිනම් සහ පුළුල් පසුවිපරම් ක්‍රියාවලිය’ යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමට අර්ධ වාර්ෂිකව වාර්තා කළ යුතු විය. ඒ අනුව, පළමුවන ප්‍රගති වාර්තාව 2016 ජනවාරි මස ලබාදෙන ලදී.

2016 සැප්තැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදයේ සැන්දියාගෝ හි පැවති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශන්තිකර කලාපීය කණ්ඩායමේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තාව සාමාජිකයන් සියලුදෙනා විසින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

ශ්‍රී ලංකාව විසින් මුල් අවස්ථාවේදී අර්ධ වශයෙන් අනුකූල වූ සහ අනුකූල නොවූ නිර්දේශ 9ක් පිළිබඳව වූ තාක්ෂණික අනුකූලතාවය සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වාර්ෂික සමුළුවේදී තීරණය විය. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ වූ ශ්‍රී ලංකාවේ අනුකූලතා මට්ටම වර්ධනය වී ඇත.

අනුකූලතා මට්ටම ඇගයීමේ වාර්තාව 2015 වසරේදී සම්මත කිරීමෙන් පසු 2016 ජනවාරි ප්‍රගති වාර්තාවෙන් පසු නැවත වර්ගීකරණය

අනුකූල වූ                       5            5
බොහෝදුරට අනුකූල වූ     7           16
තරමක් දුරට අනුකූල වූ     16         13
අනුකූල නොවූ                 12         6

මේ වන විට ශ්‍රී ලංකාව ‘පුළුල් පසුවිපරම් ක්‍රියාවලියට’ යටත්වන අතර ඒ අනුව අන්‍යොන්‍ය ඇගයීම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමට වාර්ෂිකව වාර්තා කිරීම අවශ්‍ය වේ.

2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඇසුරිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles