Saturday, September 21, 2024

ක්‍රීඩා නිලධාරී පිරිසක් ලක්ෂ 50ක වියදමින් ඉන්දියාවට

රටපුරා පළාත් 9කින් තෝරාගත් පළාත් ක්‍රීඩා නිලධාරීහු 50ක් ඉන්දියාවේ මහරාස්ට්‍ර ප්‍රාන්තයේ අමරාවතී විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කළමනාකරණ උපාධිය හැදැරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්වෙති. ඉතිහාසයේ පළමුවරට පළාත් ක්‍රීඩා නිලධාරීන් විශාල පිරිසක් එකවර සහභාගීවන මේ අධ්‍යයන චාරිකාවට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වැය කර තිබේ.

ගුවන් ප්‍රවේශපත්‍ර වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ක් හා අධ්‍යයන ගාස්තු ලක්ෂ 20ක් ලෙස වියදම් ඇස්තමේන්තු බව වාර්තා වේ. පළාත් හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරීන් 75ක් පමණ මේ සඳහා අයැදුම් කොට තිබුණ ද පළමු කණ්ඩායම සඳහා 50කට අවස්ථාව හිමිකර දීමට තීරණය කොට තිබේ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි සූදානම් කොට ඇති මේ ක්‍රීඩා උපාධි පාඨමාලාව මගින් පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩා ඉතිහාසය, ක්‍රීඩා කළමනාකරණය, ක්‍රීඩා ආර්ථිකය, දැවැන්ත තරගාවලි සංවිධානය, මහජන සම්බන්ධතා හා මාධ්‍ය හැසිරවීම, ක්‍රීඩා පහසුකම් කළමනාකරණය, තහනම් උත්තේජක වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වළක්වා ගැනීම, අන්තර්ජාතික ක්‍රීඩා නීතිය හා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ විෂය කරුණු ඉගැන්වේ.

එම දැනුම උපයෝගී කොට ගෙන ක්‍රීඩා සැලසුම්කරණය, සංවිධානය, මෙහෙයවීම හා පාලනය කිරීමේ අයිතිය පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ඉදිරි කාලයේ පියවරෙන් පියවර හිමිකරදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලික අරමුණ වේ. තවද ක්‍රීඩා කළමනාකරණ උපාධිය හැදෑරීමෙන් අනතුරුව පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩා ක්ෂේත්‍රෙය් ඉහළ රැකියා අවස්ථා ලබා ගැනීමේ අවස්ථාවද හිමි වේ. පළාත් ක්‍රීඩා නිලධාරීන්ට කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව කලක සිට මැසිවිලි නැගෙන අතර මෙවැනි උපාධි ලබාදීම මගින් ක්‍රීඩාවට මෙන්ම නිලධාරීන්ගේ පෞද්ගලික ජීවිතයටද වැදගත්වන බව විශ්වාස කෙරේ.

මූලිකව සති දෙකක ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ඉන්දියාවේ අමරාවතී විශ්වවිද්‍යාලයේදී මේ පිරිසට ලැබෙන අතර පසුව ශ්‍රී ලංකාවේ සිට මාස 6ක කාලයක් ඔන් ලයින් ක්‍රමය යටතේ විෂය කරුණු හැදෑරීමේ අවස්ථා හිමිකරදී ඇත. මාස 6ක කාලයේදී සාමාන්‍ය රාජකාරීවලට බාධාවක් නොවන පරිදි මේ ක්‍රීඩා කළමණකරන උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදාකරදීම එමගින් අපේක්ෂා කෙරේ.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩි.එම්. ආර්. බී. දිසානායක මහතා හා ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා ඇතුළු ක්‍රීඩා විද්‍යායතනයේ නිලධාරීන් පිරිස මේ අධ්‍යයන චාරිකාව සංවිධාන කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles