කාදිනල් හිමියන් CCDයට

0
306

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහාය.

ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රැඳවා සිටී.

කාදිනල් හිමියන් එහි පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් ඒ අවට සිටින ආකාරයක් ද දක්නට ලැබුණි.

බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මුනීන්ද්‍රන් සමගම අත් අඩංගුවට ගෙන සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු පසුගිය දා මුදා හැරියේ ය.

මෙම අවස්ථාවට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ,

“මුනි කියන මේ මහත්මයා තමයි එදා දේවස්ථානයේ බෝම්බය සොයා ගත්තේ. වෙන්න ගිය විනාශය නවත්වන්න කටයුතු කළේ ඔහු. ඉතින් ඒ පුද්ගලයා පිළිබඳව කාදිනල් හිමියන්ට ලොකු කෘතඥතාවයක් තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ඔහුවත් නිදහස් කරයි කියලා.”

“අපිට විශාල සැකයක් පවතිනවා.. මේ අත්බෝම්බය යම් පුද්ගලයෙකු පෞද්ගලික හේතුවක් මත තැබූ බෝම්බයක් නෙමෙයි කුමන්ත්‍රණකාරී සිද්ධියක් කියලා.”

“පාස්කු ප්‍රහාරයට දින 1,000ක් සපිරෙන මොහොතේ ජනවාරි 14 වනදා තිබුණු යාච්ඤා මෙහෙයට යම් බාධාවක් කරමින් ජනතාව බියගැන්වීමට හෝ පාස්කු ප්‍රහාරය යට ගහන්නට උත්සාහ කරන අය කළාද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here