Sunday, September 22, 2024

කාපට් පාර තිබ්බට ඒ පාරේ යන වාහනේට තෙල් ටික නැත්නම් පාර කන්න ද ? – විමල් අසයි

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම ඊයේ (02) සවස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකෙරිණි.

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උලෙළ අමතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ලංකා සමසමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහ විජයධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස පිළිගැනීම හා ඉහත ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අරමුණ පැහැදිලි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිදු කළේය. සෙසු පක්ෂ නායකත්වය නියෝජනය කරමින් එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද එක්ව සිටියහ. එසේම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ඉහත පක්ෂ 11 නියෝජනය කරන සියලු අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන යන නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් වෙත “මුළු රටම හරි මගට” ජාතික ප්‍රකාශනය පක්ෂ 11හි නායකත්වය විසින් පිළිගන්වන ලදී.

මෙහිදී පවතින අර්බුදකාරී තත්ත්වය ගැන කඩිනමින් විශේෂඥ සහය ලබාගතයුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා,

“කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් එක උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරේ වාහනේ යන්න තෙල් නැතිවෙනවා. කාපට් එක තියෙනවා. කාපට් පාර තිබ්බට ඒ පාරේ යන වාහනේට තෙල් ටික නැත්නම් පාර කන්න ද. ආණ්ඩුවක් තියෙනවා මේ තත්ත්වය ගැන බැරෑරුම් සාකච්ඡාවකින් තොරව. පාලකයෝ ඉන්නවා මේ තත්ත්වය ගැන බැරෑරුම් අවධානයකින් තොරව. මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කිහිපයක් ගන්න ඕනේ. පළමුකොටම විශේෂඥ සහය ගන්න ඕන. තමන්ට මේ සියල්ල තේරෙනවා. මගේ මොළෙයි ඉතුරු තව හයයි මේ ඔක්කොම තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ මට මොකටද විශේෂඥ සහය. මම හිතන විදියට ඔක්කොම වෙනවා නම්. ඒ මදෑ. ඒ උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය ජයගන්න බෑ. හදන්න ඕන ප්ලෑන් එකක්. සැලැස්මක්. ඒ සැලැස්ම අතට අරගෙන යන්න ඕන ණය දීපු අය හම්බවෙන්න. ගිහිල්ල කියන්න ඕන උඹල කියන විදියට දැන් වාරිකය ගෙවන්න බෑ. අපිට ගෙවන්න පුළුවන් අපි හදපු සැලැස්මක් තියෙනවා මේක පිළිගනින් කියලා. කෝ ඒ සාකච්ඡාව. මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මාස 6ක් තිස්සේ මේ තත්ත්වය හමුවේ ගතයුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 9ක් ඇරියා. මම යෝජනා ඇරියා එකකටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා. හම්බවෙන්න වෙලාවක් නෑ මුදල් ඇමතිතුමාව. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහබැංකු අධිපති මුණගැහෙන්න මුදල් ඇමතිට වෙලාව නැත්නම් එක්කෝ මේක කෙළවාගන්න ඉඩදී බලා සිටිනවා.”

“අද කළු සල්ලි ඩොලර් වෙළෙඳපොලක් හැදිලා ප්‍රබල වෙලා. මෙම ලෝකේ මොන රටකවත් කිසිම මුදල් ඇමතිකෙනෙක්ගෙන් අහලා නෑ කළු සල්ලි මාකට් එක ප්‍රවර්ධනය කරන. මේ වෙලාවේ මේ කළු සල්ලි මාකට් එක පුළුවන් තරම් ප්‍රවර්ධනය නෙවෙයි ඒකෙ ක්‍රියාකාරිත්වය දුර්වල කරන්න ඕන. නිත්‍යානුකූල මාවතෙන් සල්ලි එන්නේ නෑ. දකුණු කොරියාවේ රැකියාව කරන තරුණ දරුවෝ. සියයට 90ක් සල්ලි එවන්නේ උන්ඩියල් වලින්. බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් යන ඩොලර් ගඟ තර වෙනවා. ඒකට එහෙම වැඩෙන්න දීලා බලන් ඉන්නවා. මේ අපේ රට එක්කයි සෙල්ලම් කරන්නේ. අපිට ඩබල් රටවැසිභාවයක් නෑ. එකයි තියෙන්නේ. ඉන්නහරි මැරෙන්න හරි ඔක්කොම තියෙන්නේ මෙතන.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles