Thursday, January 23, 2025

කාබනික යයි කියා ගෙන්වූ පොහොරට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

විදේශීය රටවල්වලින් ගෙන්වන කාබනික යයි කියන පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

එහි වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

රජය විසින් චීන සමාගමකින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර ඒවායෙහි අහිතකර බැක්ටීරියා හා කෘමීන් අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මෙලෙස ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයට ගැනීමෙන් පැළෑටි සංරක්ෂණ පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ඇතුළු අණ පනත් යටතේ වරදක් සිදුවන බව පෙත්සම්කරුවන් පවසයි.

එම පොහොර වර්ග වගා කටයුතු සඳහා යොදා ගතහොත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දැඩි ඛේදවාචකයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

එමෙන්ම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කාබනික පොහොර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමේ ඉල්ලා තිබේ.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය කිරීමට තීන්දු කළ රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට හා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles