Thursday, September 19, 2024

කාර්යාල ගැටලුවෙන් දේශපාලන අර්බුදයක්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ කාර්යාල ගැටලුව මේ වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන ගැටලුවක් දක්වා වර්ධනය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මහතා පරිහරණය කළ කාමර නවයම තමාට ලබා දෙන තෙක් රාජ්‍ය ඇමැති ධුරයේ රාජකාරි භාර නොගැනීමේ දැඩි ස්ථාවරයක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කරන කබිර් හෂීම් මහතාගේ වෙනත් ව්‍යාපෘතියක් සඳහා එම කාමර නවයෙන් හයක් ලබා ගෙන ඇති අතර එම කාමර හය නැවත ලබා නොදීමේ ස්ථාවරයක කබිර් හෂීම් මහතාද සිටින බව පැවැසේ.
එමෙන්ම ලක්ෂ්මන් යාපා මහතාට එම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන්ද කබිර් හෂීම් මහතා සිය අකමැත්ත ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ඊයේ (07) වන විටද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ කාර්යාල ප්‍රශ්නය විසඳී නොතිබිණි. පෙරේදා දිනය පුරා අමාත්‍යංශ නිලධාරීන් හා අබේවර්ධන මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කාර්යාල පරිශ්‍රයක් පවත්වාගෙන යාමට සුදුසු ස්ථාන කිහිපයක් බැලීමට ගොස් තිබුණද ඒ කිසිම ස්ථානයකට ඔවුන්ගේ කැමැත්ත පළ කර නොතිබිණි.
රටේ දරුණු ව්‍යසනයක් සිදු වී ඇති මෙවැනි අවස්ථාවක රජයේ මුදල් වැය කරමින් ගොඩනැගිලි කුලියට නොගන්නා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමාත්‍යංශ ‍ලේකම්වරයාට දැනුම් දී ඇත. එබැවින් තමාට හිමි අමාත්‍යංශයේ පවතින පරිශ්‍රය පමණක් ලබා දෙන ලෙසද ලක්ෂ්මන් අබේවර්ධන මහතා ‍ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඊයේ වන විටද එම කාර්යාල ගැටලුව විසඳා ගැනීමට නොහැකි වූ බවත් ඉතා ඉක්මනින් රාජ්‍ය ඇමැතිවරයාගේ ගැටලුව විසඳා දෙන බවත් අමාත්‍යංශ ‍ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ලක්බිම කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles