Saturday, September 21, 2024

කැබිනට්ටුව නොමඟ යවා වැටුප් වැඩි කරගෙන

ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත අමාත්‍යාංශ ලේකම්වරුන් විශාල පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙන්ම කැබිනට් මණ්ඩලය ද නොමඟ හරිමින් තම වැටුප් වැඩි කර ගැනීමක් සිදු කර ගෙන ඇතැයි වාර්තා වේ.

විශ්‍රාම යාමට මත්තෙන් තම වැටුප් වැඩි කර ගැනීම සඳහා මේ පිරිස අමාත්‍යමණ්ඩලයට වැරැදි තොරතුරු සපයා ඇති අතර, මේ වැටුප් වැඩි වීම නිසා රජය විශාල ආර්ථික අපහසුතාවකට මුහුණ දෙනු ඇතැයි රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දෙයි.

මේ ලේකම්වරුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ වසර 2016 සිට වසර 2020 දක්වා වූ වැටුප වැඩි කර තමනට ලබා දෙන ලෙසයි.

වසර 2016. 01. 01 සිට වසර 2020. 01. 01 දක්වා අදියර 05 කින් වැටුප් වැඩි වන ක්‍රමයක් ඉදිරිපත් කිරීම සහ 2016. 01. 01. සිට 2019. 12. 31දක්වා විශ්‍රාම වැටුප් සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර තිබියදීත් මේ ලේකම්වරුන් පිරිස 2016.10. 26 දින ලිඛිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ තම වැටුප් වැඩි කර දෙන ලෙසයි.

මෙමඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ 2016. 01. 01. දින සිට 2019.12. 31 දක්වා විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 විධිවිධාන අනුව ඔවුන් අවසන් වරට ලැබූ වැටුපට අනුරූපීව 2020. 01. 01 දිනට නිමවන සම්පූර්ණ වැටුප පදනම් කරගෙන තම වැටුප සකසන ලෙසයි.

එම ඉල්ලීම අනුව වසර 2016 විශ්‍රාම ගිය අයකුට වුවද, ලබන වසරේ විශ්‍රාම යන අයකුට වුවද හිමි වන්නේ වසර 2020 හිමි විය යුතු වැටුප් තලයයි.

මේ ඉල්ලීම ඉටු කළ හොත් වසරකට රුපියල් මිලියන 141ක් බැඟින් රුපියල් මිලියන 500කට අධික මුදලක් රජයට දරන්නට සිදුවන බවත් පෙන්වා දෙන රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ අයදුම් පත් යොමු කිරීමට සූදානමින් සිටින තවත් විශ්‍රාමික නිලධාරීන් 2300ක් සිටින බැවින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ගණනය අනුව වසරකට රුපියල් මිලියන 13000කට අධික මුදලක් මේ අයගේ හිඟ පාරිතෝෂික විශ්‍රාම වැටුප් මුදල් ගෙවීමට වැය වන බවයි.

වසර 2020 විශ්‍රාම වැටුප 2016 සිට ගෙවීම සිදු කළහොත් විශ්‍රාම වැටුප් වියදම 71% කින් ඉහළ යන බව ද මේ නිලධාරීන් පෙන්වා දෙන අතර, 2016 වසර සඳහා හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් මිලියන 4081ක් (2017 පෙබරවාරි දක්වා) වැය වන බව ද අනාවරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles