Sunday, December 22, 2024

කුබිච්චන්කුලම වැව ආශ්‍රිතව සංචාරක කලාපයක්

අනුරාධපුර නගරය පසෙක පිහිටි කුබිච්චන්කුලම වැව ආශ්‍රිතව විනෝදාස්වාදය සදහා සියලු පහසුකම් සැලසෙන දෙස් විදෙස් සංචාරක කලාපයක් පිහිටුවීමට සැලසුම් කර ඇත. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කරනු ලැබේ. මෙයට උතුරු මැද පළාත් සභාවේ හා අනුරාධපුර මහනගරසභාවේ ද පූර්ණ අනුග්‍රහය ලබා ගැනීමට කටයුතු කර තිබේ. මෙම යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ඇතුළු දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන්ට කරුණු පැහැදිලි කර දීමේ විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරය් දී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ රණවක මහතා අනුරාධපුර නගර සීමාව තුළ මේ වන විට 52000ක ජනගහණයක් වාසය කරන බවත්, දෛනික කටයුතු සදහා ලක්ෂයකට ආසන්න ජනතාවක් නගරයට යාම් ඊම් කරන බවත් සදහන් කලේය. එම පසුබිම තුළ ප්‍රෙද්ශවාසී ජනතාවට හා දෙස් විදෙස් සංචාරක ප්‍රජාවට විනෝදාස්වාදය සදහා වෙන්වූ පහසුකම් සහිත නිදහසේ ගතකිරීම පිණිස ඉඩකඩ ඇති ස්ථාන ඉතා අල්ප බැවින් කුබිච්චන්කුලම වැව හා අවට ප්‍රෙද්ශය විනෝදාස්වාදය සදහා සංවර්ධනය කිරීමට තීරණය කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.
පළමු අදියර යටතේ මෙම වැව පිළිසකර කොට ගැඹුරු කිරීමට සැලසුම් කර තිබෙනවා. මුලින් වැවේ වපසරිය හෙක්ටයාර් 40ක් ව තිබුණත්, අනවසර ගොඩකිරිම් හා නිසි නඩත්තුවක් නොමැති නිසා මේ වන විට එහි වපසරිය හෙක්ටයාර් 24ක් දක්වා අඩු වී තිබෙනවා.  වැව අවට ප්‍රෙද්ශ‍යේ විනෝදාස්වාදය සපයන ක්‍රියාකාරකම් වර්ධනය කිරීම ඇතුළු මං මාවත්, රථගාල්, පාලම්, බෝක්කු ඉදිකිරීම යළි වන වගා කිරීම පිනිස රු. මි 45ක සංවර්ධන කාර්යයන් මේ වසර තුළ සිදු කිරීමට අපේක්ෂිතයි. ව්‍යාපෘතිය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි ද රණවක මහතා සදහන් කළේය. 2017 වසර වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට වෙන් කර දී ඇති රු.මි. 1000ක මූල්‍ය ප්‍රතිපාදන තුළ එම ව්‍යාපෘතිය සදහා මූල්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ද ඔහු අනාවරණය කළේය. මේ වන විට මූලික විධිවිධාන යෙදීම සදහා රු. මි. 15ක් වැය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
අනුරාදපුර දිස්ත්‍රික්කය සංවර්ධනය සදහා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව හා නාගරික සංවර්ධන අධිකාරියේ යෝජනා පරිදි අනුරාධපුර නගර මධ්‍ය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය අනුරාධපුර පොළ සංවර්ධන ව්‍යාපෘතිය, කැකිරාව නගරයේ වටරවුම් මාර්ගය පොදු වෙළදපොල හා බස්නැවතුම්පල ව්‍යාපෘතිය ඇතුළු නොච්චියාගම නගරයේ සේවා මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මේ වසර තුළ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබුණ ද , එයට අවශ්‍ය මුදල් වෙන් නොකිරීම නිසා සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව ද මෙම රැස්වීමේ දී අමාත්‍යවරයා අවදාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles