Sunday, September 22, 2024

කුසල්ට වන්දි ගෙවීමට ICC ය ඒකමතිකව තීරණය කරයි..

තහනම් උත්තේජක ගත් චෝදනාවට ලක්ව ඉන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ICCය ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

පෙරේදා ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පැවැති ICCයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මතව ඇති බවයි සඳහන් වෙන්නේ. මේ අනුව, කුසල්ට සිදුවූ හානියට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ පවුම් ලක්‍ෂ 05ක මුදලක් නොහොත් රු.කෝටි 10කට ආසන්න මුදලක් හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට ICC අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව, ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ පරීක්‍ෂණ කටයුතුවලින් කුසල්ගේ සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරය ඉවත් කර තහනම් කිරීමටද පියවර ගෙන ඇති බවත් සඳහන් වෙනවා. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර ඇතිඅන්දමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයෙන්ද වන්දි ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

මේ සම්බන්ධව අදහස් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ලේකම් මොහාන් ද සිල්වා හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධ කරගැනීමට මාධ්‍ය විසින් උත්සාහ කළද ඔවුන් විදේශගතව සිටීම හේතුවෙන් එම උත්සාහ ව්‍යර්ථ වී ඇති බවත් වාර්තා වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles