Friday, October 18, 2024

කොටි සැකකරුවන් නිදහස්‌ කරන්නැයි උතුරේ හර්තාල්

බරපතළ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් 132 දෙනකු වහාම නිදහස්‌ කරන ලෙස ඉල්ලා උතුරු පළාත පුරා ඊයේ (13 වැනිදා) ක්‍රියාත්මක කර තිබූ හර්තාල් ව්‍යාපාරය නිසා සාමාන්‍ය ජන ජීවිතයේa කටයුතු මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබිණි.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා කෙනකු බව කියන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. ශිවාජිලිංගම් ඇතුළු සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් කීපයක්‌ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කරන ලදි.

ඒ අනුව යාපනය, කිලිනොච්චි, පේදුරුතුඩුව, වව්නියාව, මන්නාරම පොලිස්‌ කොට්‌ඨාසවල මෙම හර්තාල් ව්‍යාපාරය ඊයේ (13 වැනිදා) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කර තිබිණි.

මෙම ප්‍රදේශවල සියලුම වෙළෙඳසල්, කාර්යාල, රජයේ ආයතන වසා දමා තිබූ අතර පොදු වාහන සේවය ද ඉතාම පහළ මට්‌ටමක පැවතිණි.

වවුනියාව නගරයේ පාසල් විවෘත කර තිබුණ ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම දුර්වල මට්‌ටමක පැවති බව අධ්‍යාපන බලධාරීහු කියා සිsටියහ.

වැලිකඩ, වව්නියාව සහ බෝගම්බර බන්ධනාගාරවල රඳවා සිටින දරුණු අපරාධවලට සම්බන්ධ කොටි ත්‍රස්‌තයන් එකසිය තිස්‌දෙදෙනකු වහාම නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් එම්. ශිවාජිලිංගම් ඇතුළු දේශපාලනඥයෝ පසුගිය කාලය පුරාම උද්ඝෝෂණවල නිරත වූහ.

මෙම අපරාධකරුවන් දේශපාලන සිරකරුවන් බව කියමින් ඔවුන් නිදහස්‌ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ද ඉල්ලීමක්‌ කර තිබිණි.

මොවුන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා එම්. ශිවාජිලිංගම් ඇතුළු දෙමළ දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් යාපනය නගරයේ ඊයේ පෙරවරුවේ පෙළපාලියක්‌ද පැවැත්විණි.

මෙම පෙළපාලිය උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ නිල නිවස වෙත ගමන් කළ අතර ඔවුන් මහ ඇමැතිවරයාට ලිපියක්‌ භාර දෙමින් ඉල්ලා සිටියේ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් මුදා ගැනීමට කටයුතු කරන ලෙසයි.

උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වෙද්දී එම ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමට කටයුතු කර තිබිණි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles